Posted on 01.09.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් විසින් බිය පළ කර ඇත.
ජනවාරි 7 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට මිනිත්තු ගණනකට පෙර ඔහු කොරෝනා ආසාදිත නිසා කොළඹ වසංගත රෝග රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන නිසා මහේස්ත්‍රාත් හමුවට ගෙන එන්නේ නැති බව පොලිසිය විසින් පවුලේ සාමාජිකයන්ට පවසා ඇත.
ඉන්පසුව, ඔහු කොරෝනා ආසාදනය හේතුවෙන් ප්‍රතිකාර පිණිස ‘කොස්ගොඩ තාරක’ ඇතුළු අපරාධ චේදනා ලැබුවන් සමඟ කලුතර ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කළ බවට දැනගත්තේ මාධ්‍ය වාර්තා මගින් බවද පවුලේ සාමාජිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය බිය ප්‍රකාශ කරමින් පවසා තිබේ. දේශපාලන චෝදනා යටතේ රඳවා සිටින අයකු බන්ධනාගාරයකදී සිදු නොකරන ආකාරයට, සාමාන්‍ය අපරාධකරුවන් සමග රඳවා තැබීම ගැටලුවක්ව තිබේ.
හිජාස් හිස්බුල්ලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ඔහු රඳවා සිටින ස්ථානය විමසා තිබුණද බලධාරින් විසින් එය හෙළි නොකිරීමද පවුලේ සාමාජිකයන්ගේ භීතියට හේතු වී ඇත.
මේ අතර හිජාස් හිස්බුල්ලාගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගෙන් කරුණු විමසීමිවලට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවටද චෝදනා නැගී ඇත.