தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
ප්‍රජාචන්චරවාදයේ ‘රන් දෙවොල‘ ලෝකයට නිරුවත් වූ වගයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රජාචන්චරවාදයේ ‘රන් දෙවොල‘ ලෝකයට නිරුවත් වූ වගයි !



පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු මින් පෙර පාර්ලිමේන්තුවේදී කිසිදා දක්නට නොලැබුනු ඉතාම අශික්ෂිත මැරයන් ලෙස ප්‍රසිද්ධියේ හැසිරුණු අවස්ථාවක් ලෙස අද (16) ඉතිහාසයට එක් විය.

විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ යැයි කියන මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රිවරුද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුද මෙම ප්‍රචණ්ඩ ස්වරූපයේ ජවණිකාවලට සම්බන්ධවීම සජීවි රූපවාහිනි දර්ශනවලින් ලෝකය පුරා ප්‍රේක්ෂකයන්ට දක්නට ලැබිනි. තමන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ ලෙසත් ඇතැම් වාමාංශිකයන් විසින් දියවන්නාවේ ඌරුකොටුව ලෙසත් හදුන්වන පාර්ලිමෙනේතුව සැබැවින්ම කුමන ආකාරයේ මහජන නියෝජිතයන්ගෙන් සෑදි ඇත්ද යන්න අද දින ජනතාවට මනාව දර්ශනය වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

අද දින පස්වරු 1.30ට පාර්ලිමේන්තුව කැදවීමට නියමිත වුවද ඒ සදහා සුදුසු පසුබිමක් කැදවීමේ සීනුව නාදවනවිටද දක්නට ලැබුනේ නැත. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා කථානායක අසුනේ වාඩි වී විකට ජවණිකාවක නිරත වූ අතර මහින්ද රාජපක්ෂ ‘නිකං බලා‘ සිටියේ සිය මන්ත්‍රි කණ්ඩායම පාලනය කිරිමට අසමත් නිසාද නැතිනම් අද දිනයේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව ඔහු ඔවුනට උපදෙස් දුන්නේ එසේ කටයුතු කිරීමටදැයි විමතියක් තිබේ. විපක්ෂයේ මන්ත්‍රිවරු කථානායක ආසනය අවට රැදී සිටිමින් ඊයේ දින පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩ ලෙස හැසිරුනු එ.ජා.ප. මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම හා රංජන් රාමනායක අත්අඩංගුවට ගන්නා ලෙස ඝෝෂා කළහ. එම අවස්ථාවේ මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රිවරු මහ හඩින් සටන් පාඨ කියමින් පාර්ලිමේන්තුවේ එහා මෙහා යමින් විරෝධතා ක්‍රියාදාමයක නිරතව සිටියහ. පොලිසිය කැදවාගෙන පාර්ලිමේන්තුවට පිවිසුනු කථානායකවරයාට සිය අසුන වෙත යාමට අවස්ථාව නොදී පොලිසියට පහර දෙමින් විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් කලබලයක් ඇති කරන ලද අතර විශාල ප්‍රමාණයේ පොත්වලින් හා මිරිස් කුඩු දියර ප්‍රහාර එ.ජා.ප. මන්ත්‍රිවරුෙ දෙසටත් පොලිසිය දෙසටත් එල්ල කෙරිණි. මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ හා ප්‍රසන්න රණවීර යන මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රිවරු කථානායක අසුන අසළ ඇති විශාල පොත්වලින් කථානායකවරයා පොලිස් ආරක්ෂාව ඇතිව සිටි දෙසට ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබිණි. මීට අමතරව පද්ම උදයශාන්ත ගුණසේකර, නිශාන්ත මුතුහෙට්ටිගම වැනි මන්ත්‍රිවරු පිරිසක් මන්ත්‍රිවරුන්ට ප්‍රහාර එල්ල කිරීම හා පාර්ලිමේන්තුවේ ගෘහභාණ්ඩලට අලාභහානිකිරීම සිදුකළහ. ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර දුරකථනයක් වයරය සමග ඇද දමමින් ගලවා වීසි කිරීමට උත්සාහ ගත් අයුරුද දක්ට ලැබිණි.

මෙම අවස්ථාවේ එ.ජා.ප. මන්ත්‍රිවරුද විවිධ උපකරණවලින් හා පොත්වලින් මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රිවරුන්ට පහර දෙනු දක්නට ලැබිණි. රනිල් වික්‍රමසිංහ මෙම අවස්ථාවේ සිය ගෝලබාලයන්ට සන්සුන් කරන්නට ඉදිරිපත් නොවෙමින් නිරීක්ෂණයක යෙදී සිටියේය.

මෙම මැරයන් මහජන නියෝජිතයන් ලෙස පත්කර ඇත්තේ ජනතාවගේ ඡන්දයෙන් බව ඛෙදජනක සත්‍ය මෙහිදී සිහිපත් කළ යුතුය. එසේම තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදෙවියන් බවට පුරාජේරු කියන දේශපාලන පක්ෂවල නායකයන් සිය ගෝලබාලයන් ‘වලං කඩේට පැන්න ගොනුන්‘ ලෙස හැසිරෙනු දැක නිහඩව බලා සිටි ආකාරයද අනාවරණය විය. මෙම ප්‍රචණ්ඩ තත්වය ආරම්භ කෙරුනු අවස්ථාවේදී විරෝධතාවක් වුවද එම විරෝධතාව අවස්ථාවේම අවශ්‍ය දේශපාලන මැදිහත්වීමෙන් සිය මැර මන්ත්‍රින් පාලනය කිරීමට අගමැති යැයි කියන මහින්ද රාජපක්ෂ හෝ හිටපු කථානායකවරයකු වන චමල් රාජපක්ෂ  යන රාජපක්ෂ පවුලේ දෙබෑයන් උත්සාහ කළේ නැත. එසේම වාසුදේව නානායක්කාර නම් රදළ පවුලේ ව්‍යාජ වාමාංශිකයාද විමල්වීරවංශ ඇතුළු ජවිපෙන් ඉවත්ව ගිය කණ්ඩායමද මැරයන් සම එක පෙළට පාර්ලිමේන්තුවේ යකා නැටීමද දර්ශනය විය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු යුරෝපා වැඩවසම් අත්තනෝමතිකත්වය පරාජය කරමින් ධනවාදී දේශපාලනය ස්ථාපිත කිරීමේදී ලිබරල්වාදය සමග පෙරමුණට ආ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ආකෘතියකි. එය ආරම්භයේදී ධනපති ක්‍රමය මිනිස් වර්ගයාට හදුන්වා දුන් ලබාරල් නිදහස, මානව අයිතිවාසිකම් හා නීතිය ඉදිරියේ සමානත්වය පිහිටුවීමේ ආධිපත්‍ය සහිත ව්‍යුහයක් වුවද අද වනවිට එය දේශපාලන විනයක් හෝ පෞද්ගලික සදාචාරයක් නැති ජරාජීර්ණ විය ආයතනයක් බව පැහැදිලි වේ. වාමා දේශපාලනයේදී ධනති පාර්ලිමේන්තුව ඌරු කොටුවක් ලෙස හදුන්වන්නයෙිද යන්න ඊයේ සියලු දෙනාගේ ඇස් ඉදිරියේ අනාවරණය විය.  ධනපති ආර්ථික ක්‍රමය අර්බුදයට යාමේ ප්‍රතිඵලයක් ලෙස වියවුලකට ඇද වැටුන ලංකාවේ ධනපති දේශපාලනයෛ් පටු සීමාවන්ද අද දින පාර්ලිමේන්තුවේදී මනාව නිරූපණය විය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජත්වය අනාවරණය කරමින් බල අරගලය තුළ කොතරම් නිර්ලජ්ජිත හා තිරිසන් ලෙස මරා ගන්නා ධනපති නායකයන් හා ඇම්බැට්ටයන්දැයි ඔවුහු අපට සජීවි රංගනයකින් පෙන්වා දුන්හ.

දැන් අප මේ දේශපාලන පාඩම කියවා ගන්නා අතරම ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාජයකැයි හෝ මානව නිදහස අත්කරගත නොහැකි යුටෝපියාවකැයි කියන්නේ නම් අපට ඉතිරිව ඇත්තේ උන්ගේ බල අරගලය නරඹමින් සිටීම පමණකි. එසේත් නැතිනම් උන් අපට කියා දුන් ප්‍රජාතන්ත්‍රවාදයේ ත්‍රිමුර්තිය ගැන අන්ධ භක්තියෙන් ගරාවැටුනු ධනපති ප්‍රජාතන්ත්‍රවාදයට පැලැස්තර අලවන්නට අපේ කාලය හා ශ්‍රමය වැය කරන්නෙමු නම් අප වැනි මුග්ධයන් ඉතිහාසය පුරාමත් ධනපති ක්‍රමය ඔසවා තබමින් ‘වාමන පීඩාවෙන්‘ වාසය කළ බව ඉතිසාහය ඇසුරින් උගත හැකිය. වැඩි දුරක් නොයා 2015 ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, යහපාලනය හා වංචා දූෂණ රහිත පාලනයක් අපේක්ෂා කළවුන් අද වැටී තිබෙන අසරනබාවය තේරුම් ගත හැකිය. ඔවුන්ට අප අවමන් නොකළ යුතුය. අවංක අධ්‍යාශයකින් අදත් ඔවුන් මහත් වැර වෑයමින් ධනපති රාජ්‍ය තන්ත්‍රයට කරු තියන්නට, මැටි බිත්තියට පිටින් වරිච්චි බදින්නට, අඩ තියන්නට හා පැලැස්තර හුනු පිරියම් කරන්නට වෑයම් කරන බව ඇත්තකි. ඔවුන්ට දේශපාලන පැහැදිලි කිරීම් කිරීමද නිශ්පල විය හැකිය. එහෙත් වඩා වැදගත් වන්නේ සැබෑ ජනතා අරමුනු වෙනුවෙන් ජනතා බලය ඇසුරින් දේශපාලනය අලුත් කිරීමය. සැබෑ ජනතා බලයක් මේ ඌරු කොටුවට පිටස්තරව, එයට අභියෝග කරමින් පිහිටුවීම හා එවැනි සැබෑ ප්‍රජාතාන්ත්‍රික බලයක් ජයග්‍රහණය කරවීම, අප සමාජයට සැබෑ නිදහසක්, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් උදාකරන්නට ඇති එකම මාවත බව අප විශ්වාස කරන්නේ ඒ නිසාය.

පීඩාවන් ඉදිරියේ සැබෑ ලෙසම විමුක්තිකාමී දේශපාලන අරමුනින් හා අවංකභාවයෙන් සටන් වදින්නේ පීඩිතයන් බව ඉතිහාසය ඉගැන්වූ පාඩමකි. ඒ නිසා පීඩිතයන් සමග ඔවුන්ගේ නායකත්වයක් උදෙසා වෑයම් කිරීම දේශපාලන සංවිධාන පිහිටුවීම හැර විකල්පයක් නැත.