Posted on 09.07.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් භාවිත කරමින් දේශපාලන කටයුතු කිරීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පොලිසිය සිදුකරන බාධා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට දේශපාලන පක්ෂයකට තම මතය ජනතාව අතරට ගෙන යාම මෙන්ම ආණ්ඩුව විවේචනය කිරීමට නීතිමය බාධාවක් නැත. පෙ.ස.ප. විසින් කරුනු සහිතව මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කරුණු සළකා බලන විට ප්රජාතන්ත්රවාදය සම්බන්ධ බරපතල තත්වයක් ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇත.
පෙ.ස.ප. විසින් අගෝස්තු 16 වැනිදා කොමිසම වෙත ලිඛිතව ඉදිරිපත් කෙරුනු පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අමතමින් සැප්තැම්බර්3 වැනිදා යවා ඇති ලිපියක මේ බව දක්වා ඇත.
එම ලිපියේ පොලිස්පතිවරයා අමතමින් “යම් තැනැත්තකු විසින් පවතින නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත්නම් ඒ සම්බන්ධව පවතින නීතිය ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමේ වගකීම පොලිසිය සතුව පවතී. එසේ වුවද එසේ ක්‍රියා කිරීම ද නීතියට අනුකූලව සිදු කළ යුතු වන අතර, නීථිය අවභාවිතා කිරීමට පොලිසියට හෝ වෙනත් රාජ්‍ය නිලදාරිනට හෝ හිමිකමක් නොමැති බව ද බලහත්කාරය හෝ තර්ජනය කිරීම හෝ නීතියට පරිබාහිර අත්අඩංගුවට ගැනීම් හෝ සිදු කිරීම නොකළ යුතු බවද” අවධාරනය කර ඇත.
පෙ.ස.ප. විසින් මැතිවරණ කොමිසම වෙත යැවු ලිපිය පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරන මැතිවරණ කොමිෂන් සභාව, එහි සඳහන් කරුණු සම්බන්ධ කඩිනමින් පරික්ෂා කර නීථියට පරිබාහිර සිදුවීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙසද එවැනි සිදුවීම්වලට සම්බන්ධ නිලධාරින් සම්බන්ධ සුදුසු පියවර ගන්නා ලෙසද මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.
මැතිවරණ කොමිසම වෙනුවෙන් කොමිසමේ ලේකම් එච්.එම්.ඩී.ටී. හේරත් විසින් මෙම ලිපිය යවා ඇත.