Posted on 11.21.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පූර්ණකාලීන ක්‍රියාධරයෙකු සහ මහර-වත්තල-බියගම සංවිධායක ලෙස කටයුතු කළ සජිත් ප්රියරංග හදිසි හෘදයාබාධයකින් අභාවයට පත් වූ බව එම පක්ෂය පවසයි.
කන්තලේ ප්‍රදේශයේ දේශපාලනයට සම්බන්ධ පවුලක උපන් ඔහු ශිෂ්‍යයකු ලෙස වමේ දේශපාලනයට එක්ව 2010 ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකයකුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කටයුතු කළේය. 2011 සැප්තැම්බර් ජ.වි.පෙ. ඛන්ඩනයෙන් පසුව සමාජවාදය වෙනුවෙන් සිය දේශපාලන තෝරාගැනීම සිදුකළ සජිත්, ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු විය. 2012 පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවීමේදී ක්‍රියාකාරීව දායක වූ ඔහු පදවිය සංවිධායක ලෙස කටයුතු කළේය. ඉන්පසුව, පක්ෂයේ අවශ්‍යතාව මත ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරිත්වයට එක් විය. පෙ.ස.ප. තරුණ අංශයේ ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකරමින් මහර ආසනයේ මෙන්ම බියගම ආසනයේද සංවිධාන දේශපාලන කටයුතුවලට මැදිහත් විය.
වාම දේශපාලනයේ සහෝදර සහෝදරියන් සමග ප්‍රියමනාප බැඳීමකින් හා ගැඹුරු දේශපාලන වගකීමකින් දවසේ පැය 24ම වැඩ කිරීමට සූදානමින් සිටි ඔහු අසනීප තත්වයකදී වුවද තමන් පැවරුණු කාර්යයන් අතපසු කිරීමට සූදානම් වූයේ නැත. සිය සමාජ වගකීම ඉටුකරමින් 30 හැවිරිදිව අවසන් හුස්ම හෙළන තුරුම දැඩි උද්යෝගයකින් කටයුතු කළ විප්ලවවාදියකු මෙන්ම පරිත්‍යාගශීලීත්වය, අවංකභාවය හා කැපවීම සහිත මානවවාදියකු හා සැබෑ සහෝදරයකු බව පෙ.ස.ප. සාමාජිකයෝ පවසති. සජිත් පියරංග තරුණ වාම ක්‍රියාධරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 22වන සිකුරාදා(හෙට) සවස කන්තලේදී සිදුකෙරේ. දේහය හබරණ-ත්‍රිකුණාමල මාර්ගයේ 85 පැඩිෆීල්ඩ් ෆාම් අසල පිහිටි නිවසේ තැන්පත් කොට ඇත.