Posted on 09.13.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සාහිත්‍යකාරයෙක් බුදුන්ගේ රස්තියාදුව කියලා අසභ්‍ය භාෂාවෙන් පොතක් ලියා ඇති බව පවසමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අැමති විජයදාස රාජපක්ෂ සැප්තැම්බර් 11 වැනිදා රාජ්‍ය සාහිත්‍ය උළෙල අමතමින් පසුගියදා වාරණයට ලක් කළ කේ.කේ.ශ්‍රීනාත්ගේ කෘතිය පිළිබද අවලාද නගා ඇත.
ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය සාහිත්‍ය උළෙල සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.
ඇමතිවරයා එහිදී මෙසේද ප්‍රකාශ කර තිබිණි.
“පසුගිය කාලේ බුදුන්ගේ රස්තියාදුව කියලා ඉතාම අසභ්‍ය භාෂාවෙන් ග්‍රන්ථයක් ඉදිරිපත් කරල තියෙනවා. ඒක ලියපු මිනිහත් කලාකරුවෙක් කියලා සමහරු හඳුන්වනවා. ඒ වගේ ග්‍රන්ථයක් නිවැරැදි කියලා වන්දි භට්ටකම් කරපු මිනිස්සු කියනවා ඔවුන් කලාකරුවෝ කියලා. මේ තත්වයට කලාව බිඳ වැටුණොත් හෙට අනිද්දා වෙනකොට ජේසුස් වහන්සේත් රස්තියාදුකාරයෙක් කියලා පොතක් එළියට එන්න ඉඩ තිබෙනවා. නිර්මාණකරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ අයිතිය අපි ලබාදී තිබෙනවා. කලාකරුවෝ ඒ නිදහස කවදාවත් අයුතු විදියට භාවිත කරන්නේ නෑ. කලාව ආගමකට ගරහන්න, ශාස්තෘවරුන්ට ගරහන්න, ආගමික ශ්‍රද්ධාව ඇති මිනිසුන්ගේ හිත් රිදවන්න භාවිත කරන ආයුධයක් විදියට පාවිච්චි කරනවා නම් ඒ තැනැත්තා කලාකරුවෙක් නෙවෙයි. ජාවාරම්කාරයෙක් පමණයි.“
මේ ප්‍රකාශය අනුව, ඇමතිවරයා තමන් කතා කරන විෂය සම්බන්ධව නිසි අවබා්ධයකින් අදහස් ප්‍රකාශ කරන බවක් නොපෙනෙන බව රාජ්‍ය සාහිත්‍ය උළෙලට සහභාගි වූවන්ද අදහස් ප්‍රකාශ කර ඇත. පසුගිය කාලයේ වේදිකා නාට්‍ය, ගුවන්විදුලි නාට්‍ය සහ සාහිත්‍ය කෘති සම්බන්ධ විධිමත් අවබෝධයකට නොපැමිණ අදහස් පළ කරමින් වේදිකාවලදී කලාකරුවන් ගර්හාවට ලක් කිරීම විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින් විසින් සිදුකරන ලදී.