Posted on 05.27.2022 by Sajith Saranga in ප්‍රධාන පුවත with 0 Comments
පසුගිය 09 වැනිදා සාමකාමී අරගලයට එල්ල වූ සංවිධානාත්මක පහරදීමෙන් පසු මැතිඇමැතිවරුන්ගේ නිවෙස් වෙත එල්ල වූ ප්‍රහාර හා ගිනි තැබීම් සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කොට වන්දි ගෙවීමේ කටයුතු සිදු කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා මෙසේ ද පැවසීය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න මහතා විසින් දිස්ත්‍රික් 25හි සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට සිය ප්‍රමුඛ රාජකාරිය සේ සලකා විනාශයට පත් මැති ඇමැතිවරුන්ගේ දේපල සම්බන්ධ තක්සේරු වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කරල තියෙනවා. රාජකාරි ආරම්භ කිරීමෙන් පස්සෙ තමන්ගෙ පළමු රාජකාරිය ලෙස මායාදුන්න මහතා කළේ මෙම නියෝගය දීපු එක.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ “ස්වදේශ කටයුුතු අංශයෙන්” තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. ලේකම්වරයාගේ මේ නියෝගය අනුව ඊයේ (26) දවස පුරාම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් තමන්ගෙ එකම හා ප්‍රමුඛ රාජකාරිය විදියට කළේ මේ කටයුත්ත.
අපි දැක්ක පහුගිය කාලෙ ගෑස් සිලින්ඩර් පිපිරිලා ජීවිත කිහිපයක් අහිමි වුණා. නිවාස ගණනාවක් විනාශ වුණා. මේ සියල්ල රජයේ අත්තනෝමතික කටයුතු හේතුවෙන් සිදු වෙච්ච දේවල්. මොකද පිපිරිච්ච බහුතරයක් ගෑස් සිලින්ඩර් ලිට්රෝ ගෑස් සිලින්ඩර්. ඒව පිපිරුනේ සංයුතියේ වෙනස්කම් නිසා කියල දැන් ඔප්පු වෙලා තියෙන්නේ. මෙච්චර කල් ගිහිල්ලත් ඒ අය වෙනුවෙන් කිසිම සාධාරණයක් ඉටු කරන්න රජය කටයුතු කළේ නෑ. මහජනතාවට වන්දි ලබා දෙන්න කිසිම ලේකම්වරයෙක් නියෝග නිකුත් කළේ නෑ. කිසිම දිස්ත්‍රික් ලේකම්වරයෙක් තක්සේරු වාර්තා අරන් නැහැ.
හැබැයි මන්ත්‍රීවරුන්ගේ නිවාස හානිවලට වන්දි ගෙවන්න මේ රජය විසින් පුදුම තරමේ උනන්දුවකින් කැපවීමකින් කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ කාරණාව ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන්න ලේකම්වරයා නියෝග කරනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් පවා තමන්ගේ අනෙක් රාජකාරි සියල්ල පසෙක තියලා මේ වන්දි ක්‍රියාවලියට ගැන කැපවෙලා ඉන්නවා.
අපි අහන්නෙ මෙහෙම කඩිමුඩියේ වන්දි ගෙවන්නෙ ඇයි? වන්දි ගෙවනවා නම් ඒ සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කළ යුතුයි. සාමාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී, ඇමැති වැටුපක් ලබන මේ අය කොහොමද කෝටි ගණන් වටින දේපල උපයගත්තෙ කියල විගණනයක් කළ යුතුමයි. එහෙම නැතුව හිතුමතේ මේ විදියට වන්දි ගෙවන්න කටයුතු කරන එක සම්බන්ධයෙන් අපි අපේ බලවත් විරෝධය පළ කරනවා.