Posted on 08.25.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඇෆ්ගනිස්ථානය තුළ පාලන බලය දරු කණ්ඩායම පලවා හරිමින් එරට බලය අත්පත් කරගත් තලේබාන් පාලනය ශ්‍රී ලංකාව විසින් නිල වශයෙන් පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.
තලේබාන් සංවිධානය විසින් එරට සිටින විදේශිකයින්ට දෙන ලද “පොදු සමාව” පිළිබඳව සතුට පළ කරමින් සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටින බව පවසා ඇති බව BBC සිංහල වෙබ් අඩවිය පවසයි.
“දැන් තාලිබාන් සංවිධානය බලයේ සිටින බැවින් නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්ථානයේ සියලු ජනතාවගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව සහ ගෞරවය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි,” යනුවෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එසේම කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට දී ඇති පොරොන්දුව වෙනුවෙන් කැපවීමට “දිගටම ගෞරව කරන ලෙස” තාලිබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දක්වා ඇති බව සඳහන් වේ.
අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන මහකොමසාරිස් පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන සිදුවීම් සැලකිල්ලට ගෙන, ශක්තිමත් ඇෆ්ගනිස්ථාන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට සහ වර්ධනය වන ද්විපාර්ශ්වික සබඳතාවලට අනුකූල ව ශ්‍රී ලංකාව ඔහුට සහ ඇෆ්ගනිස්ථානයට පූර්ණ සහයෝගය ලබා දීමට පොරොන්දු වූ බවය.
එසේම පසුගියදා ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිවරයා නව විදේශකටයුතු ඇමතිවරයා මුණ ගැසී ඇති අතර එහිදී පකිස්ථාන මහ කොමසාරිවරයා ඇෆ්ගනිස්ථානයේ සිටින විදේශිකයින්ගේ ආරක්ෂාව තලේබාන් සංවිධානය විසින් තහවුරු කිරීමටත්, කාන්තාවන්ගේ හා ළමයින්ගේ අයිතිවාසිකම් සුරැකීමටත් පොරොන්දුවක් ද ලබා දී ඇතැයි පැවසූ බව රජයේ තොරතුරු අමාත්‍යංශ වෙබ් අඩවිය සඳහන් කරයි. ඊට අමතරව ලංකා රජය ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා සහාය ලබාගන්නේ පකිස්ථානයෙන් බව එහි දැක්වේ. පකිස්ථානය යනු ආරම්භක අවස්ථාවේ පටන් තලේබාන්වරුන්ට සහයෝගය පළකරමින් සිටින රටකි.
ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් පාලනය මෙතෙක් කිසිඳු රටක් නිල වශයෙන් පිළිගෙන නොමැති අතර චීනය, ඉරානය සහ රුසියාව සහයෝගය දක්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර ඇත. එම ලැයිස්තුවට අලුතින්ම එකතුවූ රට වන්නේ ලංකාවයි.