Posted on 03.03.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මෙරට වෙත ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට ඉදිකරන විශාලතම අපනයන සැකසුම් කලාපයක් සදහා ඉදිකිරීම් කටයුතු හෙට (04) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව ආණ්ඩුව නිවේදනය කර තිබේ.
බිංගිරිය සහ දුම්මලසූරිය අතර ප්‍රදේශයේ ඉදිකරන්නට සැලසුම් කර ඇති මෙම අපනයන සැකසුම් කලාපය අදියර තුනක් යටතේ අක්කර 1200ක භූමි ප්‍රදේශයක් පුරා එය ව්‍යාප්ත කිරීමට නියමිතය. මෙහි ඉදිකෙරෙන නව කර්මාන්ත ශාලා තුළින් සෘජු රැකියා 75,000ක පමණ සංඛ්‍යාවක් ජනිත කෙරෙන බව ආණ්ඩුවේ ප්‍රචාරක සටහන්වල සදහන් වේ. මින් පෙර ඉදිකළ කටුනායක, බියගම හා කොග්ගල අපනයන කලාප අතරට එක්වන බිංගිරිය ආයෝජන කලාපයට, සෘජු විදේශ ආයෝජන ලබාගැනීමෙන් අපනයනය හා රැකියා උත්පාදනය මගින් ආර්ථිකයට නවජීවයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
අපනයන කලාපය තුළ ඉදිකෙරෙන කර්මාන්තශාලා අතරට බර හා සැහැල්ලු ඉංජිනේරු කර්මාන්ත, තොරතුරු තාක්ෂණය හා ඒ ආශ්‍රිත කර්මාන්ත, රථ වාහන අමතර කොටස් නිපදවීමේ හා වාහන එකලැස් කිරීමේ කර්මාන්ත, බාහිර සේවා ආයතන, ඇගලුම් හා ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.