වාර්ෂික සිරිතට ‘කලු ජූලිය‘ සිහිපත් කරගන්නට පෙර….
Posted on 06.27.2017 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
ජූනි මස කැලැන්ඩරයේ දින ගැලවී ජූලිය පැමිණෙමින් තිබේ. එළඹෙන්නේ කලු ජූලියේ කී වැනි සංවත්සරයදැයි පවසමින් අදහස් විමසමින් ජනමාධ්‍ය තුළ නොයෙක් තොරතුරු පළවනු ඇත. එහෙත් මේ අදත් සිදුවීම් සිදුවන්නේ කලු ජූලියට සමීප අන්දමේ භ්‍රාන්තියක්, වික්ෂිප්තියක් හිතන මතන සමාජය තුළ ජනිත කරමිනි.
එක්තරා මානව හිමිකම් සංවිධානයක මැදිහත්වීමෙන් පසුගිය මැයි මස 25 වැනි දින ‘මුස්ලිම් ආගමික හා ව්‍යාපාරික මධ්‍යස්ථානවලට එල්ල වූ ප‍්‍රහාර පිළිබඳ වාර්තාව‘නමින් වාර්තාවක් නිකුත් කර තිබුණි. 2017 අපේ‍්‍රල් 25 සිට මැයි 24 දක්වා කාලය තුළ මුස්ලිම් ජන කොටස් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ප‍්‍රහාර 19 ක් පිළිබඳ විස්තර එහි අන්තර්ගතව ඇත. එම ප‍්‍රහාරයන්ගේ ඇති සංවිධානාත්මකභාවය රට පුරා එවා ව්‍යාප්තව තිබීම මෙන්ම ඒ පිළිබඳව කිසිවෙකුත් පොලිසිය විසින් මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට අපොහොසත්වීම යන කරුණු මගින් පෙනී යන්නේ ඒවා කිසිසේත්ම සරල සිදුවීම් ලෙස බැහැර කළ නොහැකි බවයි. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද මෙවැනිම ප‍්‍රහාර රටපුරා තැනින් තැන ඇතිවිය. අලූත්ගම දර්ගා නගරයේ ඇතිවූ සිංහල, මුස්ලිම් කෝලාහලය එහි ගුණාත්මක වර්ධිත අවස්ථාවක් විය. එනිසා මෙම සිදුවීම් හමුවේ නිහඩව බලා සිටිය යුතු නැත.
උතුරේ මහ ඇමැති. සී. වී. විග්නේශ්වරන් උතුරේ රැදී සිටින ආරක්ෂක හමුදාවන්ට ඉවත් වන ලෙස බලකරමින් උතුරේ ජනතාව වීදි බසින දවසක් නුදුරේදීම උදාවනු ඇති බවට මැයි මස 18 වෙනිදා විශේෂ ප‍්‍රකාශයක් කළේය. එය ලැව් ගින්නක් සේ දකුණේ මාධ්‍ය තුළ ඇවිලී ගියේය. එමෙන්ම බොහෝ විද්‍යුත් මාධ්‍යන්ගේ උදෑසන පුවත්පත් සිරස්තල කියවන්නන්ගේ සහ ප‍්‍රවෘත්ති කියවන්නන්ගේ කටගැස්ම බවට ද එම ප‍්‍රකාශය පත්විය.
මේ අතර සිවුරට මුවාවී බජාර් එකේ චණ්ඩියකු ලෙස හැසිරීම බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර මාධ්‍යවේදීන් පිරිවරාගෙන ගොස් මනෝ ගනේෂන් ඇමැතිවරයා මුණ ගැසුනි. එහිදි ‘මේ රට සිංහල ‘බෞද්ධයන්ගේ රට‘ ලෙස පිළිගන්නවාදැයි ප‍්‍රශ්න කරමින් මාධ්‍ය සංදර්ශනයක්ද පවත්වන ලදී.
එමෙන්ම ඇතැම් මුස්ලිම් ඇමැතිවරුන්ගේ කි‍්‍රයාකලාපයක් පදනම් කර ගනිමින් වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා ඉඩම් අල්ලා ගැනීමේ ව්‍යාපාරයක මුස්ලිම් ජනතාව නිරත වන බවටද සිංහල ජනතාව තුළ මනෝභාවයක් ගොඩනගමින් පවතී. එම කරුණු පදනම් කරගනිමින් මාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ කි‍්‍රයාකරමින් සිටී. මෙලෙස එක් පැත්තකින් සිංහල මුස්ලිම් ජාතිවාදී ප‍්‍රතිවිරෝධතාවන් වර්ධනය වෙමින් තිබියදී අනෙක් පසින් මුස්ලිම් තමිල් විරසකභාවයක්ද නිර්මානය වෙමින් පවතියි. විශේෂයෙන් නැගෙනහිර පළාත තුළ ඊට අදාළ සිදුවීම් පෙළ ගැසෙමින් පවතියි. නැගෙනහිර පළාතේ ප‍්‍රධාන ඇමැතිවරයාගේ දේශපාලන කි‍්‍රයාකාරකම්ද ඒ සඳහා උත්තේජනයක් සපයයි. මේ සියලූ සිදුවීම්වලින් පෙන්වන්නේ ජාතිවාදී සහ ආගම්වාදී නොසන්සුන්තාවක් උත්සන්නවීමේ අනතුරක් ඇති බවයි. මෙම ජාතිවාදී ප‍්‍රකෝපකාරී සිදුවීම් සංවිධානාත්මක ඒවා බවටද ඕනෑතරම් සාක්ෂි තිබේ. බොදුබල සේනා සංවිධානයට අමතරව සිහල රාවය, රාවණා බලය ආදී ප‍්‍රසිද්ධියට පත් සංවිධාන මෙන්ම එසේ නොවන සංවිධානද කි‍්‍රයාකාරිත්වයට පැමිණෙමින් තිබේ. මහසෝන් බලකායද එවැනි එක් සංවිධානයකි. විශේෂයෙන්ම අංගම් පොර සටන් කලාව පුහුණු කිරීමේ පුහුණු කඳවුරු පත්වමින් සිංහල බොද්ධ තරුණයන් අතර ආකර්ශණයක් දිනා ගැනීමේ උත්සාහයක නිරත වේ. පසුගිය වෙසක් දිනයන්හිදි හින්දු සහ ඉස්ලාම් භක්තිකයන් වෙසෙන ප‍්‍රදේශවලට ගොස් වෙසක් සැරසිලි සිදු කරන ලද්දේ මෙම සංවිධානය විසිනි. ඉහත සංවිධාන සියල්ලම පාහේ නායකත්වය භික්ෂූන්ගෙන් සමන්විත වීම විශේෂත්වයකි. මේ ආකාරයටම මුස්ලිම් ජාතික තරුණයන් අතර කි‍්‍රයාත්මක වන මුස්ලිම් ජාතිවාදයට අයත් සංවිධාන ගොඩනැගෙමින් පවතින බවටද ඉඟි පළවී ඇත.
මේ අන්දමින් ජාතිවාදය කරළියට පැමිණීම ලංකාවට පමණක් සීමාවී නැත. අප මෑත කාලයෙදී මෙවැනි ප‍්‍රවණතා නිරීක්ෂණය කළේ අමෙරිකා එක්සත් ජනපදයේ සහ ප‍්‍රංශයේ ජනාධිපති මැතිවරණවලදීය. 2016 නොවැම්බර් 08 දින පැවැත්වුණු අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මැතිවරණයෙදී ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නායකත්වයෙන් ජාතිවාදී සහ වර්ගෝත්මවාදී ප‍්‍රවණතාව මැතිවරණයේ ජයග‍්‍රහණය කරන ලදී. ප‍්‍රංශ ජනාධිපති මැතිවරණයෙදී ‘ලේ පෙන්‘ මැතිවරණයේදී පරාජයට පත්වුවද මුස්ලිම් සහ යුදෙව් විරෝධය සංක‍්‍රමණික කම්කරු විරෝධය සහිත ජාතිවාදී ප‍්‍රවණතාවන් නියෝජනය කළේය. පසුගිය දිනවල ජර්මන් හමුදා තුළ රහසේ කි‍්‍රයාත්මක වූ නව ෆැසිස්ට් දේශපාලන ජාලයක් අනාවරණය වීමද මේ සඳහා තවත් නිදසුනකි. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ජය ගැනීම පිළිපීනයේ නැගී එන ජාතිවාදී ප‍්‍රවණතා ආසියානු කලාපයේ මේ හා සම්බන්ධ අත්දැකීම්ය. ලංකාව තුළද අඩුවැඩි වශයෙන් ආභාෂය ලබමින් සිටින්නේ මෙම ජතිවාදී ලෝක ප‍්‍රවණතාවන්ය.
සිංහල, තමිල්, මුස්ලිම් ජනතාව අතර සංස්කෘතික වෙනස්කම් බොහෝමයක් පවතියි. එමෙන්ම මේ සෑම ජාතික සංස්කෘතියක් තුළම බරපතළ පසුගාමිත්වයක් පවතියි. අනෙක් අතින් දිනෙන් දින අර්බුදයට යන නව ලිබරල් ධනවාදය හමුවේ. ආර්ථික පීඩනයද ඉහළ නගිමින් පවතියි. ඊට සාපෙක්ෂව පටු පෞද්ගලිකත්වයත් තරගකාරීත්වයත් මත ගොඩනැගෙන නව ලිබරල් අගතීන් මෙම ජන කොටස් අතර එකිනෙකට සතුරු මනෝභාවයක් ගොඩනගයි. එහෙත් එහි ඇති බරපතළම ප‍්‍රශ්නය වන්නේ ජනතාව තුළ පවතින එම මනෝභාවයන් නොව ධනේශ්වර සහ සුළු ධනේශ්වර දේශපාලන කණ්ඩායම් විසින් ඒවා තම වාසියට ජාතිවාදී පදනමින් සංවිධානය කිරීමයි. කෙසේවෙතත් ජාතිවාදය සිංහල වේශයෙන් ආවත් තමිල් හෝ මුස්ලිම් වේශයෙන් පැමිණිත් ඒවා අන්ත ප‍්‍රතිගාමී වේ. ඒ සඳහා ඉතිහාසයේ ඕනෑතරම් අත්දැකීම් අපට ඕනෑ තරම් තිබේ. 2015 ජනාධිපතිවරණයේදී විකල්පය ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, සමාජ වෙළඳපළ ආර්ථිකය ආදී සංකල්පවලින් විස්තර කරන ලද සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පන්නයේ වැඩපිළිවෙළක් ඉදිරිපත් විය. නමුත් වසර දෙකක ඉතා කෙටි කලක් තුළ ඒ පිළිබඳ සමාජ පදනම් මුළුමනින්ම පාහේ දියකර හැර තිබේ. වත්මන් ආණ්ඩුව තමන්ට ජනතාවගේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලබා දීම කෙසේ වෙතත් අවම වශයෙන් නීතිය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමවත් තමන්ට කළ නොහැකි බව, එසේත් නැතිනම් තමන් ඒ සඳහා සූදානම් නැති බව තහවුරු කර තිබේ.
එනිසා තව දුරටත් සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් පිළිබඳ වලංගුතාවක් ලංකාවේ නැත. ජනතා විමුක්ති පෙරමුණ සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්පාඨ ඔසවන්නට තැත් කරනමුත් ආණ්ඩුව එම සටන්පාඨ සියල්ල සමාජය ඉදිරියේ විහිළුවක් බවට පත් කරයි. ජනතා ව්‍යාපාර පැත්තෙන් පන්ති සටන් පාඨ එසවී තිබීමත් නිසා සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් විකල්පයක් ලෙස ඔසවාලිය නොහැක. මෙම තත්වය තුළ ලංකාවේ එක් විකල්පයක් ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ අර්බුදයට විකල්ප ලෙස ඉදිරිපත් වී තිබෙන්නේත්, තරඟ කරන්නෙත් ජාතිවාදයයි. ඒකාබද්ධ විපක්ෂය විසින් ආකර්ෂණය කරගෙන සිටින බලවේගවලට ජාතිවාදය සහ ආගම්වාදය විසින් යම් උත්තේජනයක් ලබා දෙනු ඇත. මහින්ද රාජපක්ෂ බලයේ සිටියදීත් සිය පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය භාවිතා කළ අතර යළි බලය ගැනීම සඳහාත් එයම භාවිතා කිරීමට නොපැකිලෙනු ඇත.
මුස්ලිම් විරෝධය දඩමීමා කරගත් අන්තවාදී සංවිධාන වලටත්, එම මතවාදය ශක්තිමත් කරන දෙමළ සහ මුස්ලිම් ජාතිවාදී සංවිධානවලටත් තිබෙන අරමුණු කුමක් වුවත්, ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව රාජපක්ෂ බල ව්‍යාපෘතියට සවියක් වනු ඇත. එනිසා මේ හැම ජාතිවාදයකටම ඒ බල ව්‍යාපෘතියෙන් තල්ලූවක් ලැබෙනු ඇත. මෙම ජාතිවාදී ප‍්‍රවණතාවටත්, සමාජ ප‍්‍රජාතන්තවාදයේ වේශයෙන් මේ මොහොතේ පෙණී සිටින නව ලිබරල් ධනවාදයටත් එරෙහි සැබෑ විකල්පය වනුයේ සමාජවාදයයි. මේ දිනවල ශක්තිමත්ව නැගී එන නව ලිබරල් විරෝධී ජනතා උද්ඝෝෂණ විසින් ඉල්ලා සිටින්නේද සමාජවාදී හරයකි.
ජාතිවාදීන් උත්සාහ දරනුයේ ජනතාව මුහුණ දී තිබෙන සැබෑ ප‍්‍රශ්නවල ප‍්‍රතිපත්තිමය හේතුව වසන් කර, පීඩිත ජනතා එකිනෙකා ගහමරා ගැනීමට සලස්වා සැබෑ සතුරා සඟවා මේ අර්බුදය තවත් තීව්ර කිරීමටය. එබැවින් ඒ විනාශකාරීත්වය පරාජය කර සමාජය වාම විකල්පයක් වෙත ඔසවාලීමේ, සමාජවාදයට සමාජ අනුමැතිය ලබා ගැනීමේ දේශපාලනය තවත් වේගවත් කළ යුතුය. යලිත් වරක් 1983 ජූලි මසදී සහ 2014 ජුනි අලූත්ගමදී සිදුවූ ආකාරයේ ලැජ්ජාසහගත සිදුවීම් හෝ තිස් වසරක යුද්ධයේ විනාශකාරී සිදුවීම් හෝ ප‍්‍රති නිර්මාණය වීම වළක්වාගත හැක්කේ එවැනි දේශපාලනයකින් පමණි.
Related News