Posted on 12.01.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඩුබායිහි ගෘහසේවිකාවක ලෙස සේවය කළ 60 හැවිරිදි කාන්තාවක ඝාතනය කර ඇය කුලියට ගෙන පදිංචිව සිටි නිවෙසේ අධිශීතකරණය තුළ සඟවා තිබී හමුවී තිබේ
සිය සේවය ඉටුකරමින් වසර 37ක් සේවය කළ පසුව මෙලෙස ම්ලේච්ච ආකාරයෙන් ලෙස ඝාතනයකර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ ශ්‍රියා කුමුදිනී නමැති එක්දරු මවකි. ඇයගේ එකම දරුවා වන කේ. චමින්ද පෙරේරා (39) විසින් මරණ පරීක්ෂණයේදී දෙන ලද සාක්ෂි අනුව පළමුව ගෘහසේවිකාවක් ලෙස සේවයට ගොස් ඇති මෙම කාන්තාව පසුකලෙක පාසලක පවිත්‍රතා කටයුතු සිදුකරමින් අරාබි ජාතිකයකුගෙන් කුලියට ගත් නිවෙසක පදිංචිව සිට ඇත.
ඇය වරින්වර ලංකාවට පැමිණ ඇති අතර තමාගේ දරුවන්ද පාසල් නිවාඩුවලදී ඩුබායි වෙත ගෙන්වා ගත් බවත් දිනපතාම ඇය දුරකථනයෙන් පණිවුඩ ලබාදෙන නමුත් අගෝස්තු මස 13 දින සිට දුරකථන ඇමැතුම් නොලැබුණු බවද පුත්‍රයා මරණ පරික්ෂනයේදී පවසා ඇත. එම තත්වය නිසා තමා ඩුබායි සිටින දන්නා හඳුනන අයට කතාකර මව ගැන විමසීම කළ බව පැවසූ ඔහු මව මරා අධිශීතකරණයක දමා ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු පසුව මේ පිළිබඳව විදේශ අමාත්‍යාංශයට සහ විදේශ සේවා කාර්යාංශයට දැනුම් දුන් බවද කියා සිටී. තම මවගේ දේහය ගුවන් මඟින් මෙම මස 27 දින ශ්‍රී ලංකාවට එවා තිබූ බවද ඔහු සාක්ෂි දෙමින් පැවැසීය. මීගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් ගොඩ්ප්‍රි කුරේ විසින් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුව, මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මඟින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය මියගිය අයගේ පුත්‍රයා වන කේ. චමින්ද පෙරේරා යන අයට භාර දෙන ලෙසද නියෝග කළේය.
මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මියගිය අයගේ සිරුර පරීක්ෂා කළ අවස්ථාවේදී ඇගේ බෙල්ලේ සිට යටිබඩ දක්වා කපා පසුව මසා ඇති බවත් ඇයගේ අත්වල කැපුම් තුවාල දක්නට ඇති බවත් පියයුරු තැළී කළු පැහැ ගැන්වී ඇති බවත් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණ සටහන්කර තිබිණි.
මූලාශ්‍ර – මව්බිම වෙබ් අඩවිය