Posted on 09.18.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රැකියා සඳහා සේවකයින් බඳවා ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
මීට පෙර මෙම වයස් සීමාව වයස අවුරුදු 15 ක් වූ අතර ඒ අනුව තව වසරකින් එය ඉහළ නංවා තිබේ.
වයස අවුරුදු 16 තෙක් අනිවාර්යයෙන් පාසල් අධ්‍යාපන ලැබිය යුතු බවට වන නීතිමය විධිවිධානයන්ට අනුකූල වන පරිදි කම්කරු අණපනත්වල සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීම මෙහිදී සිදුවන බව ඇමති රමේෂ් පතිරණ පවසා ඇත.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඒ අනුව 1954 අංක 19 දරන (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේව්‍ය හා වේතන විධිමත් කිරීමේ) පනත, 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, (135 අධිකාරිය වූ) අවම වේතන (ඉන්දියානු කම්කරු) ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත, 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත යන පනත් හා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රතිපාදන අනුව 1958-10-31 දිනැතිව අංක 11573 දරන රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් ප්‍රකාශයට පත් කරන ලද නියෝග සංශෝධනය කිරීම පිණිස වන කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.