Posted on 05.27.2022 by Sajith Saranga in ප්‍රධාන පුවත with 0 Comments
21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වු විශේෂ රැස්විමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර, එහිදී 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හා ඒ සඳහා පක්ෂ නායකයින්ගේ සහය ලබා ගැනීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ.
මේ අතර මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සිය බලවත් විරෝධය දක්වා ඇති බවත්, 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම වැළැක්වීමට සිය උපරිම බලය යොදා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බැසිල් රාජපක්ෂ විසින් සිය දේශපාලන උපක්‍රම හරහා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය සම්මත කිරීමේදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමෙන් මෙය සම්මත කිරීම වැළැක්වීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ රාජපක්ෂ බලය අවම කිරීමේ මූලික අදියර ලෙස ජනාධිපති බලතල කප්පාදුව හා ද්විත්ව පුරවැසිභාවය යන කරුණු දෙක මුලික කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සියලු පක්ෂ හා විශේෂ සාකච්ඡා පවත්වමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ සම්මත කර ගැනීමේ බරපතල දේශපාලන උපක්‍රමයන්හි නිරත ව ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.