Posted on 10.05.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2018 වසර වෙනුවෙන් පසුගිය අගෝස්තු 5 වැනිදා 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීම වරම් ලද දරු දැරියන් 355,326 දෙනෙකු ලද ප්‍රතිඵල මේ වනවිට නිකුත්ව ඇත.
මෙම ප්‍රතිඵලය අනුව විභාගයෙන් සමත්කරනු ලබන්නේ 15,000ක් එනම් විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් 4%ක් තරම් සුලු පිරිසකි. මේ නිසා අධික තරගයක් ලබා දෙමින් වයස අවුරුදු 11 දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විශාල පීඩනයකට ලක්වන නමුත් ඔවුන් අතුරින් 15,000ක් සමත්කර මසකට රු. 500ක ශිෂ්‍යාධාරයක් ලබා දෙන අතර ජනප්‍රිය පාසල් තරගයේ කඩඉම ඊටත් වඩා වැඩි පීඩාවක් දරු දැරියන්ටත් මවුපියන්ටත් හිමිකර දේ. දිවා රෑ නොබලා ඉලක්කයක් පසුපස හඹා යන්නට වයස අවුරුදු 7 පමණ සිට කුඩා දරු දැරියන්ට සිදුවන අතර මව්පියන්ගේ ජීවිත කිසිදු විවේචයක් නැති කාලයක් බවට පත් වේ.
මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලට අනුව ලකුණු 199ක් හිමිකර ගත් සිසුන් දෙදෙනෙකු දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනිමට සමත්ව තිබේ.
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයේ සනූප දිමත් පෙරේරා දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ දෙවන ස්ථානය හිමිකර ගැනිමට ලකුණු 198 බැගින් හිමිකර ගත් සිසු සිසුවියන් තිදෙනෙකු සමත්ව තිබේ. මිනුවන්ගොඩ රේජි රණතුංග ප්‍රථමික විද්‍යාලයේ සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චි, යාපනය හින්දු ප්‍රථමික විද්‍යාලයේ මාගේන්ද්‍රන් තිගාලොලිබවන් සහ යාපනය, චාවකච්චේරි හින්දු ප්‍රථමික විද්‍යාලයේ නාවාස්කන් නාති දිවයිනේ දෙවන ස්ථානය හිමිකර ගත් සිසු සිසුවියන් වෙයි. වව්නියාව සිවපුරම් ප්‍රථමික විද්‍යාලයේ බාලකුමාර් හරිතිකන්සුජා මෙවර ප්‍රතිඵලවලට අනුව දිවයිනේ තෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ලකුණු 197ක් ලබා ගනිමිනි.
මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ද විභාග දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. එයින්ද පිළිබිඹු කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණ්ක නොව සමාජ ආර්ථික දේහයේම ඇති විෂමතාවයේ තරමයි. මෙම ලකුණු සීමා ඔස්සේ ඉතිරි මාස කිහිපය තුළ ජනප්‍රිය පාසල් හඹා යන්නට, විදුහල්පතිවරුන්ට අල්ලස් දෙන්නට, මැති ඇමතිවරුන්ට ලියුම් දෙන්නට හෝ අල්ලස් දෙන්නට සිදුවීම සාමාන්‍ය අත්දැකීමකි.
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණැගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ 168ක් වෙයි.
හම්බන්තොට, රත්නපුර, යන දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ 166ක් වන අතර පුත්තලම, අනුරාධපුර,පොලොන්නරුව, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ 165 වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අම්පාර දිස්ත්‍රික්කයේ 164ක්, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල 163ක්, මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවල 158ක් ලෙස ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.
මේ විභාගය අවසානයේ කුඩා දරුවන් මුහුණ දෙන ශාරීරික හා මානසික පීඩාවන් පිළිබද මේ දක්වා කිසිදු අධ්‍යයනයක් හෝ පසුවිපරමක් සිදුකර නැත. විභාග ධාවනය නිසා දරුවන් නිර්මාණශීලිත්වය හා ක්‍රියාකාරිත්වය අතින් ගැටලුවලට මුහුණ දෙන බව සමාජ විද්‍යාඥයක් කරුනු සහිතව පෙන්වා දී ඇත.