Posted on 10.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තෙල් සමාගම්වලට තෙල් මිල ඉහළ දැමිය හැකි වුවද ආණ්ඩුව මේ තත්වය පිළිබද වගකීමක් දැරිය යුතු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අැමති අර්ජුන රණතුංග පවසයි.
ඔක්තෝබර් මුලදී පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ නැංවීමට තීරණයකට එළැඹ තිබුණේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පසුගිය 30 වැනිදාය. දැනට ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ආසන්න වශයෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17 ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 14 ක් පාඩු ලබන බව එම සමාගම පවසයි. එහෙත් අර්ජුන රණතුංග ඇමතිවරයා ඒ පිළිබද දරන්නේ වෙනත් අදහසකි.
“ඒ ගොල්ලන්ට ඕනේ දේවල් ම කරනවා නම් වැරැද්දක් තියෙනවා. මම හිතන්නේ ආණ්ඩුවෙන් තීරණයක් ලබාදිය යුතුයි. ලෝක වෙළෙඳ පොළේ මිල වැඩිවෙනකොට අපේ මිල වැඩිවෙන්න ඕනේ. අඩු වෙනකොට අඩු කරන්න ඕනේ. රජයක් හැටියට තීරණයක් ගන්න ඕනේ මේක ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවාද එහෙම නැත්නම් සහනදායක ක්‍රමවේදය දිගටම කරගෙනයන්න අවශ්‍ය තාවයක් තියෙනවාද කියලා.“
මේ අවස්ථාවේදී ඉන්දියන් තෙල් සමාගමට මිල වැඩිකිරීමේ හැකියාවක් ඇද්ද යන්න විමසූ අතර ඇමතිවරයා මෙසේ කීය. “ඒ ගොල්ලන්ට අවශ්‍ය නම් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් රජය හැටියට තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඒ ගොල්ලෝ කිව්වා මුදල් ඇමතිතුමාත් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. මාත් එක්කත් සාකච්ඡා කළා. මම කිව්වා දැනට මිල ඉහළ දැමීමක් කරන්න එපා කියන එක. ඒක රජයේ ඉල්ලීම. එහෙම මිල කළත් ඉතින් අපි පාඩු ලබාගෙන අපි මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ.“