தமிழ்
English
Contact
Tuesday 29th November 2022    
මරා දැමූ 'චේ ගෙවාරා' වසර 55කට පසුව ඡායාරූපවලින් යළි මතු වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මරා දැමූ ‘චේ ගෙවාරා’ වසර 55කට පසුව ඡායාරූපවලින් යළි මතු වේ!



මීට 55 වසරකට පෙර, ප්‍රතිවිප්ලවීය හමුදා විසින් ඝාතනය කරන ලද විප්ලවීය සටන්කාමියකු වූ අර්නස්ටෝ චේ ගෙවාරාගේ අවසන් මොහොතේ ලබා ගත් මේ දක්වා පළ නොවූ ඡායාරූප කිහිපයක් පළමුවරට ප්‍රසිද්ධියට පත්ව ඇත.

චේ (Ernesto Guevara) මිය ගිය පසුව මෘතදේහය සිය කැමරා කාචයට හසුකරගත් ප්‍රංශයේ AFP පුවත් සේවයේ Marc Hutten විසින් සිය ඡායාරූප සංස්කාරකවරයා වෙත යැවු රීල් 4ක ඡායාරූප සියල්ල ප්‍රසිද්ධියට පත් වූයේ නැත. නමුත් මෑතකදී ස්පාඤ්ඥයේ ‘රික්ලා’ නමැති ගමේදී තවත් ඡායාරූප ප්‍රමාණයක් සොයාගනු ලැබ තිබේ.

1967 ඔක්තෝබර් 7 වැනිදා ඔත්තු සේවා සහායෙන් චේ ඇතුළු ගරිල්ලන් සිටින ස්ථානය හඳුනාගත් බොලිවියානු විශේෂ බලකා භටයන් විසින් ඔක්තෝබර් 8 වන දින ‘යූරො’ නිම්න ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී ඇතිවූ වෙඩි හුවමාරුවේදී චේ ඇතුළු සගයන්ට තුවාල සිදු විය. තුවාල ලැබ සිටි චේ සහ බොලිවියානු ජාතික පතල් කම්කරුවකු හා විප්ලවවාදී සටන්කරුවකු වූ සිමියොන් කියුබා සරාබියා අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත්වන විට වෙඩි පහර වැදීමෙන් පාදයක් තුවාල ලැබ සිටි චේ, බොලිවියානු ආරක්ෂක හමුදා භටයන් විසින් ‘ලා හිගුවෙරා’ ගම්මානයට රැගෙන එන ලදී. මෙම විශේෂ සිරකරුවා ‘වැඩිදුර ප්‍රශ්න කිරීම’ පිණිස පැනමා රාජ්‍යයට යවන ලෙස එක්සත් ජනපද මධ්‍යම ඔත්තු සේවය ඉල්ලා සිටි නමුත් ‘තම පාලනයට මහත් හිසරදයක් වූ විප්ලවවාදියා සදහටම අවසන් කිරීමට’ බොලිවියානු ජනාධිපති රෙනේ බැරියන්ටොස් නියෝග කළේය.

තමන් රඳවා සිටි පාසලේ ගුරුවරයා හමුවීමට අවස්ථාවක් දෙන ලෙස චේ සොල්දාදුවන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. පසුදින, එනම්, ඔක්තෝබර් 9 වැනිදා උදයේ මැටියෙන් තැනූ අබලන් පාසල් ගොඩනැගිල්ලක ඔහු රඳවා සිටියදී ‘ජූලියා කෝටස්’ නමැති 22 හැවිරිදි ගුරුවරිය ඔහු හමුවට පැමිණියාය. ඔහු සටන් කළේ කුමක් නිසාදැයි ඇසීමෙන් පසුව ඇයට පිළිතුරු ලෙස ඔහු කීවේ බොලිවියාවේ රාජ්‍ය නායකයන් මර්සිඩිස් රථවල ගමන් යද්දී ඉගෙනීමට නුසුදුසු පාසල් ගොඩනැගිලිවල දරුවන්ට ඉගෙන ගැනීමට සිදුව තිබෙන තත්වයට එරෙහිව තමන් සටන් කළ බවයි.

1967 ඔක්තෝබර් 9 වැනිදා සිරකරුවා ඝාතනය කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන ලෙස ඔහුගේ රැකවලේ සිටි සෙබලුන්ට දන්වන ලදුව ‘මාරියෝ ටෙරාන්’ ඊට ඉදිරිපත් විය. පෙරදිනක සටනේදී සිය මිතුරන් මිය යාම නිසා පළිගැනීමේ ආශාවෙන් සිටි ටෙරාන් ඝාතනයට සූදානම්ව චේ සිටි කාමරයට ඇතුළුවන විට මත්පැන් බී සිටියේය. චේ සටනේදී තුවාල ලබා මිය ගිය බව ප්‍රචාරය කිරීමට අවශ්‍ය නිසා හිසට වෙඩි තැබීමෙන් වළකින ලෙසත් උරහිස ප්‍රදේශයට මාරාන්තික තුවාල ලැබෙන සේ වෙඩි තබන ලෙසත් බොලිවියානු බලධාරින් ඔහුට නියෝග කර තිබිණි. තමන් සිටින ස්ථානයට පැමිණි ඝාතකයාට චේ පැවසූ අවසන් වචන කිහිපය ලෙස සඳහන් වන්නේ මෙවැන්නකි.

“මම දන්නවා, උඹ ආවෙ මාව මරන්න. වෙඩි තියපන් නිවටයා, ඒත් උඹ මරන්නෙ එක මිනිහෙක් විතරයි.”

M2 කාබයින් අවියෙන් පිට කළ පළමු වෙඩි උණ්ඩ පොකුර, චේගේ අත් හා පාද බරපතළ ලෙස තුවාල කළ අතර වේදනාව විඳ දරා ගන්නට බිම ඇද වැටුණු චේ, සිය මැණික් කටුව සපාගෙන සිටි බව කියනු ලැබේ. ඝාතකයා එල්ල කළ දෙවැනි ප්‍රහාරයේ වෙඩි උණ්ඩ පෙළ, චේගේ පපුව ප්‍රදේශය විනිවිද ගියේය.

අසහාය විප්ලවවාදියාගේ දේහය, රහසිගතව මිහිදන් කිරීමට පෙර, වැලෙ ග්‍රාන්ඩෙ රෝහලේදී මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කෙරිණි. ඒ අවස්ථාවේ AFP ඡායාරූප මාධ්‍යවේදී Marc Hutten විසින් ලබාගත් ඡායාරූප අතරින් තවත් ‌‌ඓතිහාසික ඡායාරූප කිහිපයක් තමන් සතුව ඇති බව, උතුරු ස්පාඤ්ඤයේ රික්ලා නගරයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන Imanol Arteaga විසින් ප්‍රකාශකර ඇත. මෙම කළු සහ සුදු ඡායාරූප 8කින් එකක්, චේගේ සිරුර, රෝහල් ස්ට්‍රෙචරයක දමා ඇති බවක් පෙන්වයි. එහි ඔහුගේ ඇස් විවෘතය, ඔහුගේ නිරුවත් පපුවෙහි ලේ සහ කුණු තැවරී ඇත.

1960 ගණන්වල බොලිවියාවේ මිෂනාරිවරයකු වූ සිය මාමා Luis Cuarteroගෙන් මේ ඡායාරූප තමන් සතු වූ බව Imanol Arteaga පවසයි. “ඔහු 1967 නොවැම්බර් මාසෙ මගේ දෙමව්පියන්ගේ විවාහ මංගල්‍යයට පැමිණි විට ඡායාරූප ගෙනත් තිබුණා, ප්‍රංශ මාධ්‍යවේදියකු මාමට මේ ඡායාරූප දී ඇති බව මගේ නැන්දා මට කිව්වා”

Luis Cuartero මිෂනාරිවරයා 2012 දී මිය ගිය පසු මාමා සහ නැන්දා එම ඡායාරූප ඔහුගේ බඩු බාහිරාදිය අතර තිබී සොයා ගෙන ඇත. බොලිවියාවේදී ගත් ඡායාරූප රාශියක් සහිත පෙට්ටිවල මෙම ඡායාරූපද ඇතුළත්ව තිබී ඇත. මිෂනාරිවරයාගේ මරණය ආසන්න කාලයකදීම මිය ගිය තම මාමා සමග වසර 14ක් සමීපව ඇසුරු කළද ඔහු මෙම ඡායාරූප ගැන කිසිවක් නොපැවසීම තේරුම් ගත නොහැකි කාරණයක් බව Arteaga පවසයි.

AFP වාර්තාකරු Marc Hutten විසින් ගුවේරාගේ සිරුර හසුකරගත් වෙනත් වර්ණ ඡායාරූප, ජාත්‍යන්තර මාධ්‍යවල පළ වී ඇත. නමුත් අලුතින් සොයාගත් එක් සේයාරුවක් වෙනත් මොහොතකදී ගත් එකක් බව පෙනේ. එහි, නිරුවත් පපුව මත බොත්තමකින් රඳවා ඇති ජැකට්ටුවක් සහිත චේ ගේ ඡායාරූපයක් එහි ඇත. ගුවේරා සමඟ, බොලිවියාවේදී සටන් වැදුණු Haydée Tamara Bunkeගේ ඡායාරූපයක්ද එහි විය. විප්ලවවාදිනියගේ අවසන් ඉරණම පෙන්නනුම් කරමින් ඇගේ මුහුණ විකෘති කරන ලද සිරුර ස්ට්‍රෙචරයක් මත තබා ඇති බව පෙනී යයි.

Arteaga විශ්වාස කරන්නේ Hutten විසින් Cuartero වෙත ඡායාරූප ලබා දුන්නේ ඒවා ඉක්මනින් සහ ආරක්ෂිතව රටින් පිටතට යැවීමේ අරමුණින් විය හැකි බවයි. “ඡායාරූප ශිල්පියා මගේ මාමාගෙන් ඡායාරූප ගෙන යන ලෙස ඉල්ලා සිටියේ ඒ මොහොතේ බොලිවියාවෙන් පිටව යන එකම යුරෝපීය ජාතිකයා ඔහු නිසා.” Arteaga පවසයි.

Cuartero ඡායාරූප තමන් භාරයට ගැනීමෙන් පසුව, ඔහුට Hutten සමඟ තවදුරටත් සම්බන්ධයක් නොතිබුණි. ආර්ටේගා විසින් එම ඡායාරූප විශේෂඥයෙකු ලවා පරීක්ෂාවට ලක් කිරීමේදී, ඒවා මීට දශක ගණනාවකට පෙර භාවිත කළ තවදුරටත් නිෂ්පාදනය නොකෙරෙන කඩදාසි වර්ගයක 1960 ගණන්වල මුද්‍රණය කර ඇති බව හෙළි වී ඇත.

චේගේ මරණයෙන් මාස කිහිපයකට පසු පැරීසියට ගිය Hutten, ඔහුගේ ඡායාරූප කිහිපයක් පමණක් ඡායාරූප සංස්කාරකවරුන් විසින් ප්‍රසිද්ධියට පත් කිරීමට දී ඇති බව දැන ගෙන ඇති බව AFP ප්‍රවෘත්ති ඒජන්සියේ යුරෝපා සහ අප්‍රිකානු කලාපයේ වත්මන් ඡායාරූප ප්‍රධානී Sylvain Estibal පවසයි. මෙම ඓතිහාසික ගනිමින් විප්ලවවාදී ජාත්‍යන්තරවාදියාගේ අවසන් මොහොත ලෝකයට වාර්තා කළ ඡායාරූප මාධ්‍යවේදී Marc Hutten 2012 මාර්තු මසදී අභාවයට පත්ව ඇත.

(මූලාශ්‍රය – https://www.deccanchronicle.com/…/historic-photos-dead…)

‘චේ’ගේ මරණයෙන් පසුව, ‘මාර්ක් හටන්’ විසින් ගත් බව කියන,
අලුතින් සොයාගනු ලැබූ ඡායාරූපයක්

Luis Cuartero විසින් 1967දී සිය බොලිවියානු මිෂනාරි භූමිකාව ඉටුකරමින් යම් උත්සව අවස්ථාවක මෙහෙයවන අවස්ථාවක ගත් ඡායාරූපයක්