தமிழ்
English
Contact
Tuesday 29th November 2022    
රනිල් හදන්නේ විශාල ලේ වැගිරීමකට, ඒකට ඉඩ දෙන්න එපා - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල් හදන්නේ විශාල ලේ වැගිරීමකට, ඒකට ඉඩ දෙන්න එපා – පුබුදු ජයගොඩ



රනිල් වහා ඉල්ලා අස්විය යුතුයි

සර්ව පාක්ෂික ආණ්ඩුව අරගලයේ සම්මුතියට එකඟ විය යුතුයි

(TopNews) 83/88/89 කාලවකවානුවල ලේ හලපු රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේදී තමන්ගේ බල තණ්හාව නිසා නැවත වරක් 2022දී මේ රට ලේ වැගිරීමකට සූදානම් වන බවත්, ඒ සඳහා ඉඩ ලබාදීමට තමන් කිසිවියෙක ඉඩ ලබා නොදෙන බවත්, රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස් විය යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා. පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පුබුදු ජයගොඩ වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිතාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වෙනව කියලා පාර්ලිමේන්තුව රැස් කරන්න ඉඩ නොදී වැඩබලන ජනාධිපතිකම දිගටම යාම රනිල් වික්‍රමසිංහගෙ ක්‍රියාමාර්ගය. ඒක අරගලයේ ක්‍රියාමාර්ගය නෙමෙයි. අරගලයේ කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ රනිල් වික්‍රමසිංහට වාසි වෙන එකක්.

ඒ අතර දැන් වාර්තා වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරල තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කර ගැනීම සඳහා මැදිහත්වෙච්ච උද්ඝෝෂකයින්, උද්ඝෝෂණ නායකයින්ගේ නම් ලැයිස්තුවක් හදලා ඒ අයට පොදු දේපල චෝදනාව යටතේ නඩු දාන්න කියලා. පොදු දේපල චෝදනාව යටතේ නඩු දානවා නම් ඉස්සෙල්ලාම නඩුව දාන්න රනිල් වික්‍රමසිංහට. මොකද ශ්‍රී ලංකා මහ බැංකුව අපිට තියෙන පොදු දේපලක්. ඒක විනාශ කරපු කෙනාට නඩු දාන්න.

අපි දැක්කා මිස්ටර් ක්ලීන්, ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල් රනිල් කිය කිය හිටපු කෙනා අතුරුදහන් වෙලා එකපාරට බටලන්දේ රනිල් මතුවෙච්ච හැටි අපි දැක්කා. එහෙම තමයි බලය ලැබුණට පස්සෙ වියරුවෙන් වගේ හැසිරෙන්නේ. රනිල් මේ කරන්න හදන්නෙ දැවැන්ත ලේ වැගිරීමක්. රනිල්ට අපිට කියන්න තියෙන්නෙ මෙච්චරයි, ඔයා 83 දි ඇති වෙන්න ලේ හැළුවා. ඔයා 88/89 දී ඇතිවෙන්න ලේ හැළුවා. 2022දී ලේ හලන්න ලෑස්ති වෙන්න එපා. ඒ ලේ හැලිල්ලට ඔයාට ඉඩ දෙන්න අපි ලෑස්ති නෑ. දැන් එක පිස්සෙක්ගෙන් මිදුන අමාරුවෙන්. තව පිස්සෙක්ගෙන් පීඩාවට පත්වෙන්න ඕනෙ නෑ ජනතාව. ඒ නිසා රනිල් වික්‍රමසිංහ අයින් වෙන්න ඕනේ.

අපිට වාර්තා වුණා අද උදේ වෙනකොට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමෙදි තීරණයක් අරන් තියෙනව කියලා සියලු පක්ෂ එකතුවෙච්ච සර්වා පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් හදනවා, ඒකෙ අගමැතිවරයා නම් කරල තියෙනවා, ඒ අගමැතිවරයා හෙට උදේට ප්‍රකාශ කරනව කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ විලිලැජ්ජා නැතුව තවදුරටත් ඔය පුටුවෙ බලෙන් ලැගල ඉන්නෙ නැතුව, පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ඒකමතිකව තීරණය කරල තියෙනව නං කවුරු හරි කෙනෙක්ව අගමැති කරන්න ඒ කවුරු වුණත් ඔයා බැහැල යන්න ඉස්සෙල්ලා.

ඉස්සෙල්ලා බැහැල යන්න. මොකද ඊයේ පක්ෂ නායක රැස්වීමේදී සියලු පක්ෂ ඒකමතිකව තීරණයක් ගත්තා රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස් විය යුතුයි කියලා. ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා ඇතුළු ඒ ආරක්ෂක අංශවල අය පක්ෂ නායක රැස්වීමෙන් ඉල්ලලා තිබුණා පාර්ලිමේන්තුව විසින් ඔවුන්ට නියෝග පනවන්න කියලා. ඔවුන් එහෙම කියන්නේ අර වැඩබලන ජනාධිපතිවරයා ලෙස තමන්ටම නම ආරූඩ කරගත්ත, බෝඩ් කෑලි එල්ල ගත්ත පුද්ගලයාගේ අණ පිළිපදින්නෙ නැති නිසා.

ඒ පාර්ලිමේන්තුවේත් ඔහු පිළිගන්නෙ නැති නිසා, ආරක්ෂක හමුදා සහ පොලිසිය ඔහුගේ නියෝග පිළිගන්නෙත් නැත්නම්, රටේ ජනතාව කොහොමත් ඔහුව පිළිගන්නෙ නෑ. ඒ නිසා විහිළුවක් වෙන්නෙ නැතුව තමන්ගෙ බල උමතුව විසින් රටේ ලේ ගංගාවක් ගලන්න ඉඩ තියන්නෙ නැතුව බැහැල යන්න. ඔහු හිතාගෙන ඉන්නව නං ඇඳිරි නීති, හදිසි නීති දාල මේක බේරන්න ඒව කරන්න බෑ.

දැන් මේ උද්ඝෝෂකයන්, ජනතාවට ෆැසිස්ට් කියල කියනවා. ජනතාවට ෆැසිස්ට්වාදී කියන රනිල් වික්‍රමසිංහගෙ භාවිතාව ත ඉතාම හොඳින් ෆැසිස්ට් කියන්නෙ මොකද්ද කියල පෙන්නල තියෙනවා. ෆැසිස්ට් පන්නයේ පාලනයක් කියන්නෙ, ෆැසිස්ට් පන්නයේ මැදිහත්වීමක් කියන්නේ මොකද්ද කියල රනිල් වික්‍රමසිංහ තමයි පෙන්නල තියෙන්නේ. ඒ නිසා ජනතාවට ෆැසිස්ට් ලේබලය අලවල ජනතාව මර්දනය කරන්න ඉඩ තියන්නෙ නෑ කිසිසේත්ම. ඔය බයගැන්නිලිවලට අපිට බයහිතෙන්නෙ නෑ. ඒකට ජනතාවට බය හිතෙන්නෙත් නෑ. ඒ නිසා ඔය සෙල්ලම නවත්තන්න කියල අපි රනිල්ටත් කියනවා.

මේකට එක උත්තරයයි තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ අද උදෑසන තීරණයක් ගත්ත කියල නිවේදනය කරල තියෙනවා ඔවුන් සියලුදෙනා සම්මුතියකට ආවා කියලා. ඒක හොඳයි. ඒක අපි අගය කරනවා. ගරු කරනවා මේ අවස්ථාවේදී යම් සම්මුතියකට ආපු එක ගැන. හැබැයි පාර්ලිමේන්තුව ඇතුළෙ දේශපාලන පක්ෂ අතර සම්මුතියක් පමණක් ප්‍රමාණවත් නෑ යම් දේශපාලන ස්ථාවරත්වයක් හදන්න. අපි හැමෝටම ඕනෙ යම් ආකාරයක දේශපාලන ස්ථාවරත්වයක්. යම් ස්ථාවරත්වයක් සහිත ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමක්. හැබැයි ඒක කරද්දි පාර්ලිමේන්තුව ඇතුළෙ දේශපාලන පක්ෂ අතර සම්මුති හැදුන කියලා ඒ සම්මුතිවලින් පමණත් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගෙන්නෙ නෑ.

සැබෑ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගෙන්න නම් පාර්ලිමේන්තුවේ ඇතුළෙ පක්ෂ පමණක් නෙමෙයි,  පාර්ලිමේන්තුව ඇතුළෙ හැදෙන ඔය සර්ව පාක්ෂික ආණ්ඩුවයි පාර්ලිමේන්තුවෙන් එළියෙ අරගලයේ නිරත ජනතාවයි අතර සම්මුතියක් හැදෙන්න ඕනේ. ඒ සම්මුතිය සඳහා අවශ්‍ය මූලික රාමුවක්, ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති මාලාවක් පහුගිය ජුලි 05 දා ගෝල්ෆේස් ප්‍රකාශනය නමින් අරගකරුවන් විසින් එළිදැක්වූවා.

අපේ පක්ෂයට වෙනම යෝජනාවලියක් තියෙනවා. වෙනම යෝජනාවලියක් තිබියදීත් අරගලය විසින් ඉදිරිපත් කරල තියෙන යෝජනාවලිය අපි පිළීගන්නවා. දැන් දවස් දෙකකට කළින් කොළඹ මහජන පුස්තකාලයේදී සියලු දේශපාලන පක්ෂ එකතු වෙච්ච වෙලාවේ සියලු දේශපාලන පක්ෂ කිවුව ඒකට එකඟයි කියලා. එකඟනං දැන් කරන්න තියෙන්නේ ඒ සම්මුතිය ක්‍රියාත්මක කරන එක. ඒ හැදෙන සර්ව පාක්ෂික ආණ්ඩුව, ඒ එන අගමැතිවරයා, ඒ එන නව ජනාධිපතිවරයා ඇතුළු ඒ සියලු දෙනා මේ සම්මුතියට එකඟ වෙමු. ජනතාව සමඟ සම්මුතියකට එකඟ වෙමු.




Related News