ජනාධිපති ලේකම් අස්වීමේ හේතුව ‘සයිටම්‘ නිවේදනයයි!
Posted on 07.02.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පි.බී අබේකෝන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිටිපස ඇත්තේ සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගම් නිලධාරින් සමග කළ සාකච්ඡාවෙන් පසුව ඇති වූ තත්වය බවට කරුනු හෙළිවේ.
අපගේ මූලාශ්‍ර හෙළි කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රජයේ වෛද්‍ය නිලධාරි සංගම් නියෝජිතයන් සමග කළ සාකච්ඡාවෙන් පසුව සිය ලේකම්වරයාට නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති බවකි. එහෙත් ඉන් පසුව එම නිවේදනයට රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් හා ආණ්ඩුවේම පාර්ශ්වවලින් එල්ල වූ විරෝධය හමුවේ එය ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව තමන් විසින් නිකුත් කරන ලද්දක් බවට පවසන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලැබී තිබේ.
සිය වෘත්තීය ගරුත්වය පහතට හෙළන එවැන්නක් කිසිසේත් කළ නොහැකි බව පවසමින් හිටපු ජනාධිපති ලේකම් අබේකෝන් එය ප්‍රතික්ෂේප කර ඇත. ඒ හේතුවෙන් හටගත් සංවාදයේ අප්‍රසන්නභාවය නිසා ජනාධිපති ලේකම්වරයා ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බවට අපගේ මූලාශ්‍ර හෙළිකරයි. කෙසේවෙතත්, හිටපු ජනාධිපති ලේකම්ගේ මෙම ඉල්ලා අස්වීම කලක පටන් සිරිසේන ජනාධිපතිවරයා සමඟ පැවති මතබේදකාරි සිදුවීම්වල ප්‍රතිපලයක් වශයෙන් ඇතැම් මූලාශ්‍ර හෙළි කරයි. වෛද්‍ය සංගමයේ නිවේදනය සම්බන්ධ සිදුවීමෙන් පසුව ජනාධිපතිවරයා ඔහු වෙත දැක්වූ ප්‍රතිචාරය නිසා තවදුරටත් සිය හෘදය සාක්ෂියට එකඟව ජනාධිපති ලේකම්ධූරයේ රාජකාරි ඉටුකළ නොහැකි බවට පී.බී. අබේකෝන් ජනාධිපති කාර්යාලයේ සමීපතමයන්ට ප්‍රකාශ කර ඇත.
පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වන බව දක්වමින් ඔහු අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ජූනි 30 භාරදීමෙන් පුරප්පාඩුවන ජනාධිපති ලේකම්ධූරය සඳහා පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු වැඩභාර ගැනීමට නියමිත බවට විශ්වාස කෙරේ.