தமிழ்
English
Contact
Friday 22nd December 2017    
උමාඔය විනාශයට විසදුම ජනාධිපතිගෙ සාකච්ඡාවක් ? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උමාඔය විනාශයට විසදුම ජනාධිපතිගෙ සාකච්ඡාවක් ?



උමා ඔය ව්‍යාපෘතියෙන් මහත් පීඩාවට පත් ජනතාව අද(28) දින එක් දින හර්තාල් ව්‍යාපාරයකට කැදවීමෙන් පසුව ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දුන් පසුව හර්තාලය අවසන් කරන්නට සංවිධායකයන් තීරණය කර තිබේ. විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතා පෙරමුණේ කැඳවුම්කරු ලෙස ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මෙම විරෝධතාවයට නායකත්වය දෙන ආකාරය දක්නට ලැබිණි.

පසුගිය දිනවල විශාල ජලකාන්දුවක් ඇතිවීමත් නිවාසවල ඉරිතලා තිබුණු බිත්ති හා පදනම් විශාල වශයෙන් දෙදරා යමින් ජනයාගේ ජීවිත මහත් තර්ජනයකට මැදි විය. මෙම තත්වය නිසා වහාම මේ සම්බන්ධ මැදිහත් වියයුතු බවත් ජනතා විරෝධයක් ගොඩනැගිය යුතු බවටත් ප්‍රදේශවාසින් අතර උද්වේගකාරී හඩක් නැගී තිබිණි. පසුව මෙම තත්වයට විරෝධය පළ කරන්නට අවශ්‍යතාවක් මතු වී තිබිණි. දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් හා ජනයා ස්වේච්ඡාවෙන් විරෝධතාවයට මැදිහත්වීම දක්නට ලැබුනේ උමා ඔය ව්‍යාපෘතියේ ආපදා තත්වයට ආණ්ඩුව කිසිදු විසදුමක් ලබා නොදීම නිසාය. අද දින උදයේ බණ්ඩාරවෙල නාගරික පොදු වෙළෙදපොළ හා එළවලු තොග වෙළෙදපොළ සහ නගරයේ කඩසාප්පු හිමියන් එම විරෝධතාවට සහයෝගය පළ කරමින් සිය වෙළදසල් වසා දමන ලදී. පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ ධාවනය අඩාල වීමෙන් නගරයේ ප්‍රධාන පාසල් කිහිපයක් වසා දැමුනි. නගරයට දෙපසින් විරෝධතා පෙළපාළි දෙකක් පැමිණි අතර දහස් ගණනක පිරිසක් විරෝධය පළ කරමින් එක් රැස් වූහ. ඇතැමුන් දුමිරිය මාර්ගය පවා අත්පත් කරගනිමින් සටන්කාමී ලෙස අරගලයට එක්ව සිටි බව ජනමාධ්‍යවේදින් විසින් නිරීක්ෂණය කර තිබිණි.

දිවා කාලයේ මහත් උද්වේගයකින් සටන් පාඨ කියමින් ජනතාව විරෝධතාවයේ නියුක්තව සිටි නමුත් මෙම අරගලය උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධව නිශ්චිත සටන්පාඨයක ඒකරාශි කිරීමට සංවිධායකයන් අසමත්ව තිබෙනු දක්නට ලැබුණි. ඔවුන් ගෙන ආ සටන් පාඨය වූයේ උමා ඔය විනාශය නවතන ලෙසත් වන්දි ගෙවන ලෙසත්ය. මෙම විරෝධතාකරුවන් අමතා ප්‍රදේශයේ භික්ෂුන් සහ ජ.වි.පෙ  පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න අදහස් දක්වන ලදී. උමා ඔය විනාශයට හේතුව එම ව්‍යාපෘතිය බවට සියලු දෙනා අතර එකගතාවක් ඇතිව තිබෙන නමුත් එම විනාශය අහෝසි කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මතබේද රාශියක් විරෝධතාකරුවන් ඇමතූ කථිකයන් විසින් නිරූපණය කරන ලදී. ඇතැම් භික්ෂුන් කීවේ උමා ඔය ව්‍යාපෘතියට තමන් එරෙහි නොවන නමුත් ආපදා තත්වයට වන්දි ලබාදීමට රජය පියවර ගත යුතු බවයි. එහෙත්, 2015 මකුල් ඇල්ල ප්‍රදේශයේ ඇති වූ ආපදා තත්වය නිසා එවකට ‘අසාර්ථක උමා ඔය විනාශයට එරෙහි ජනතා ව්‍යාපාරය‘ ගෙනගිය අරගලයෙන් පසුව ආණ්ඩුව එකග වූ වන්දි මුදල් පවා තවමත් ගෙවා අවසන්ව නැත. තවමත් ගෙවල් බිත්ති ඉරිතලමින් බිම දෙබෑ වෙමින් පවතින නිවෙස්වල වාසය කරන්නට එහි ජනතාවට සිදුව ඇත.

බණ්ඩාරවෙල පැවැති උද්ඝෝෂනයේ ක්‍රියාකාරින් කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසළින් අවහිර කරමින් දුම්රිය මාර්ගයේ වැඩි වී විරෝධතාවයේ නිරතවීම නිසා කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය පැයක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය නිවේදනය කරන ලදී.

විරෝධතාව අතරතුර ජනාධිපතිවරයාගෙන් ‘බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ‘ට සාකච්ඡාවක් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ. එම සාකච්ඡාව ජූනි 30වැනිදා නියෝජිතයන් 10 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන්නට නියමිතය. ඌව පළාත් අණ්ඩුකාර ලේකම්වරයා සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්වරයා රැගෙන ආ පොරොන්දු ලිපියේ ඇති කරුණු රැස්ව සිටි ජනතාවට ඇසෙන සේ කියවීමෙන් පසු සියළුම විරෝධතා කරුවන්ගේ එකඟතාවය මත එම ලිපිය භාරගැනීමට කටයුතු කළ බව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ජනමාධ්‍ය අමතා පවසා තිබේ. මෙම දැනුම්දීමට පෙර විසදුම් සදහා පොරොන්දු දෙමින් ඇමති මහින්ද අමරවීරගේ සහ ඇමති හරින් ප්‍රනාන්දු එවා තිබුනු ලිපි දෙකක් පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

උමා ඔය විනාශය පිළිබද සාකච්ඡාවකට ජනාධිපතිවරයාගෙන් දිනයක් ලබා දෙන බවට ඌව පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා විසින් පොරොන්දුවක් දීමත් සමග උමා ඔය ව්‍යාපෘතියේ විනාශය පිළිබද බණ්ඩාරවෙල නගරයේ ඇරඹූ හර්තාල් ව්‍යාපාරය අවසන් කිරීමට සංවිධායකයන් තීරණය කර තිබේ.

ඇමති හරීන් ප්‍රනාන්දු කොළඹ ජනමාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වුවන්ට ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටු වනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවයි.