Posted on 11.08.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
උමා ඔය ව්‍යාපෘතියේ සේවය කරන සේවකයන් සිව් දෙනකු පසුගිය 06 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර තිබේ. ඔවුන්ට කිසිදු පූර්ව දැනුම්දීමක් සිදු කර නැති අතර එදින උදේ රැකියාවට ගිය පසු, එදින වැඩ නොකරන ලෙසත් 10.00ට ව්‍යාපෘති කළමනාකරු පැමිණි පසුව කාර්යාලයට පැමිණෙන ලෙසත් දැනුම් දී ඇත. එම දැනුම්දීම අනුව ගිය ඔවුන්ට එදින සිට රැකියාවෙන් ඉවත් කර ඇති බව දැනුම් දී තිබේ. ඊට හේතුව ලෙස කියා තිබෙන්නේ දැනට ව්‍යාපෘතියේ සිටින සේවකයන් පිරිස ප්‍රමාණය ඉක්මවා තිබෙන බවයි.
මෙලෙස ඉවත් කර තිබෙන්නේ වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ සේවය කරන රංජිත්, වසර දෙකක් පමණ සේවය කරන කිත්සිරි බණ්ඩා, වසරකට වැඩි කාලයක් සේවය කරන චන්ද්‍රෙස්න සහ මීට මාස දෙකකට පමණ ඉහතදී සේවයට බඳවා ගන්නා ලද ගයාන් නමැති සේවකයන් සිව් දෙනාය.
කෙසේ වෙතත් කිසියම් සේවකයකු ඉවත් කරන්නේ නම් ඊට කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ගත යුතුය. සේවකයන් ඉවත් කිරීමට හේතුව දැනුම් දී ඊට අවසර ඉල්ලා කම්කරු කොමසාරිස්වරයා දැනුවත් කළ යුතු අතර ඒ බව අදාළ සේවකයන්ටද දැනුම් දිය යුතුය. එවිට ඔවුන්ටද තමන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ.
ඒ කිසිදු නෛතික කොන්දේසියක් සම්පූර්ණ නොකර හිටි හැටියේම සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඊට විරෝධය පළ කරන බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයට අනුබද්ධිත ‘ඒකාබද්ධ ඉදිකිරීම් සේවකයන්ගේ සංගමය‘ පවසයි. මේ පිළිබඳව බදුල්ල දිස්ත්‍රික්කයේ කම්කරු කාර්යාලයට පැමිණිලි කර තිබෙන බවද එම සංගමය පවසයි.