Posted on 10.12.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් ගුරු සංගම්වල ඉල්ලීමට විසඳුම් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩි කිරීමට දෙන බව කියන විසඳෞම සම්බන්ධයෙන් ගුරු-විදුහල්පති සංගම්වල මතය හෙට(13) ප්‍රකාශ කරන බව ගුරු සංගම් නියෝජිතයෝ පවසති.
අද දින අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවා තිබුණු සාකච්ඡාවකදී අදියර දෙකකින් වැටුප් වැඩිකීරීමක් ලබා දෙන බව අගමැතිවරයා පවසා ඇත.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් මෙන්ම බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ ගුරු විදුහල්පති සංගම් නියෝජනය කරමින් කිහිපදෙනෙක් මෙම සාකච්ඡාවට එක්වූහ.
පැය තුනහමාරකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගි වූ ගුරු විදුහල්පති වෘත්තිය සමිති අගමැතිවරයාගේ අදහස සම්බන්ධ එකඟතාවක් පළකර නැත.
ලංකා ගුරු සංගමයේ, ලේකම් ජෝසෆ් ස්ටාලින් මාධ්‍යවේදින් අමතමින් පවසා සිටියේ තමන් ඉල්ලා සිටි කාරණයට වෙනස් ආකාරයක පිළිතුරක් අගමැති විසින් යෝජනා කර ඇති බවය. “අපි දිගින් දිගටම ඉල්ලුවේ අදියර 4ක් වෙනුවට එක් අදියරයකින් ලබාදෙන්න කියලා. අගමැතිවරයා අවසානයේ දී සඳහන් කළේ, ඊයේ දවසේ අදියර තුනකින් යෝජනා කළත් එය අදියර දෙකකින් දෙනවා කියලා.” යනුවෙන් ඔහු පැවසීය.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ තමන් අගමැතිවරයා කියන මෙම වැටුප් වැඩි කිරීම් ගැන අවසන් එකඟතාවකට පැමිණ නැති බැවින් සාකච්ඡා කර සිය ස්ථාවරයන් පවසන බවය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් ගුරු සේවා සංගමයේ, ප්‍රධාන ලේකම්, දිවානි හෙට්ටිගේ ප්‍රකාශ කර තිබුණේ ගුරු අරගලයට විසඳුම් ලැබුණු බැවින් අරගලය අවසන් බවයි. ඔහු මාධ්‍ය වෙත මෙසේ පවසා තිබිණි. “විවිධ විදුහල්පති හා ගුරු සංගම් මස් රාත්තලම ඉල්ලා හිටියා. අදියර දෙකකින් ලබාදෙන්න කියන යෝජනාව අපි සංගමයක් ලෙස ඉදිරිපත් කළා. සමහරක් විතරක් එක අදියරේ ම දෙන්න කිව්වා. අරගලය මෙතනින් හමාර වෙලා තියෙනවා. පාසල් 21 පටන් ගන්නවා.”
ආණ්ඩුව විසින් ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් විසඳුම් දීමට ප්‍රමාද වන්නේ මුදල් හිගය බවට කරන ප්‍රකාශ ගුරු සංගම් තරයේ ප්‍රතික්ෂේප කරයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ, කැඳවුම්කරු, පූජ්‍ය උලපනේ සුමංගල හිමි මෙසේ කියා සිටියේය. “මුදල් නෑ කියන එක අපි පිළිගන්නේ නෑ.කොටස් වශයෙන් ලබාදීම අපි පිළිගන්නේ නෑ. දීර්ඝ වශයෙන් කතා කරලා අපේ ස්ථාවරය ඉදිරියේ දී ප්‍රකාශ කරනවා.”