தமிழ்
English
Contact
Thursday 24th June 2021    
අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙසට නියෝගයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙසට නියෝගයක්



වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට ලබාදෙන සියලුම පහසුකම් ලබාදෙන ලෙස පසුගියදා (22) අධිකරණය නියෝග කර ඇත.

එසේම මෙම කවිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සියලුම සාක්ෂිවල සම්පිණ්ඩනයක් සමඟ ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇත.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ප්‍රකාශ කළේ අහ්නාෆ් ජසීම්ව බන්ධනාගාරගත කිරීමට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් හෝ නීතිඥයන් දැනුවත් නොකිරීමෙන් බරපතළ අගතියක් සිදුවී ඇති බවයි.

යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර සතියක් ගත වීමටත් මත්තෙන්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) මගින් වසරකට වැඩි කාලයක් රඳවාගෙන සිටි අහ්නාෆ් ජසීම් කවියා ඥාතීන්ට හෝ නීතිඥයන්ට නොදන්වාම අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර තිබුනි.

කවියා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පසුගිය අඟහරුවාදා අධිකරණයට දැනුම් දී ඇත්තේ අහ්නාෆ් කවියාට එරෙහිව එල්ල කර ඇති අන්තවාදයට සම්බන්ධ බවට ඇති චෝදනා පිළිගනිමින්, පාපොච්චාරණයක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ අරමුණින්, වසරකට අධික දීර්ඝ කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ රදවා ගනිමින් ඔහු මානසික වධයට ලක් කර ඇති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය යටතේ සැකකාර කවියා අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, ටීඅයිඩිය ඔහු ඉදිරිපත් කර ඇත්තේ එම පනතේ 7(2) වගන්තිය යටතේ බවත්, මුල් වගන්තිය යටතේ සැකකරු ඉදිරිපත් කළේ නම් සාක්ෂි නොමැති වීම නිසා කවියා මුදාහැරීමට නීතිපතිවරයා තීරණය කළහොත් ලැබෙන සහනය වැළැක්වීම සඳහා වෙනත් වගන්තියක් යටතේ සැකකරු ඉදිරිපත් කර ඇති බවත් නීතිඥවරුන් පවසයි.

එයට අමතරව, අහ්නාෆ් නිදහස් වන අවස්ථාවේදී ලබාගත හැකිවන පරිදි, රැඳවුම් භාරයේ සිටියදී කවියා ලියා ඇති කවි සහ ඔහුගේ කුරානය සුරක්ෂිතව තබා ගන්නා ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ද අහ්නාෆ් වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් එදින අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින්, විත්තියේ ඉල්ලීම අනුව ආසන්න දිනයක් ඊලඟ නඩු දිනය ලෙස නියම කරන ලද මහේස්ත්‍රාත්වරයා, ජුනි 29 වන දින අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත දන්වමින් නොතීසි නිකුත් කර ඇත.