Posted on 08.02.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රට මූල්‍ය අර්බුදයකට මුහුණදෙමින් සිටියදී මෙම වර්ෂය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයට සහ අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් අයවැය මගින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 45,000ක් වෙන් කිරීමෙන් මාස 03ක් ගතවීමටත් පෙර පරිපූරක ඇස්තමේන්තුවක් මගින් තවත් රුපියල් කෝටි 2,000කට අධික මුදලක් වෙන්කරගෙන ඇති බව අනාවරණය වී ඇතැයි ‘ලංකා ට්රුත්’ වාර්තා කරයි.
අයවැය ඇස්තමේන්තුව 2021 අනුව ආරක්ෂක අමාත්‍යාංශයට පුනරාවර්තන වියදම් සඳහා රුපියල් කෝටි 31,680ක්ද එම අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් කෝටි 3,835ක්ද වෙන්කර ඇත.
මේ අනුව මෙම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 35,495ක් වෙන්කර තිබේ.
එසේම එවකට තිබූ අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශකටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් වශයෙන් රුපියල් කෝටි 13,082ක් සහ එම අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 2,165ක් වෙන් කර ඇත.
මේ අනුව එම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 16,247ක මුළු මුදලක් වෙන් කර තිබිණි. එම අමාත්‍යාංශ දෙකම වෙනුවෙන් වෙන් කර තිබූ මුළු මුදල රුපියල් කෝටි 51,742ක් වේ.
මෙයින් ආසන්න වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි 45,000ක් පමණ වෙන් කෙරී ඇත.
පරීපූරක ඇස්තමේන්තුවක් මගින් පසුගිය මාර්තු මාසයේ 22 දින රුපියල් කෝටි 2,000කට ආසන්න අතිරේක මුදලක් වෙන් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 29කට ආසන්න මුදලක්, ශ්‍රී ලංකා නාවික හමුදාවට රුපියල් කෝටි 753ක් පමණ, ශ්‍රී ලංකා යුධ හමුදාවට රුපියල් කෝටි 861ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් කෝටි 357ක් වශයෙන් වෙන් කර ඇත.
අයවැය මගින් අතිවිශාලම මුදල් ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කර තිබියදී මාර්තු මාසය වනවිට අතිරේක ප්‍රතිපාදන වශයෙන් තවත් රුපියල් කෝටි 2,000ක් වෙන්කරගැනීමට සිදුවී ඇත්තේ කුමන හේතු නිසාදැයි බරපත ප්‍රශ්නයක් මතුව තිබේ.