Posted on 07.07.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
හින්දි සිනමාවේ ආකර්ෂණීය රංගධරයකු හා චිත්රපට නිෂ්පාදකයකු වූ ‘මොහොමඩ් යූසුෆ් ඛාන්’ හෙවත් ‘දිලිප් කුමාර්’ අභාවයට පත් විය.
මොහොමඩ් යුසුෆ් ඛාන්, ලෙස ඔහු උපන්නේ 1922 දෙසැම්බර් 11 වැනිදාය. ඉන්දියාවේ පවතින මුස්ලිම් විරෝධය හේතුවෙන් හින්දි නමක් පටබැඳගෙන රංඟනයට පැමිණි මොහොමඩ්, ඉන්දියාවේ මෙන්ම ලෝකයේ හින්දි සිනමා රසික රසිකාවන්ගේ ලෝකයේ තරුව බවට පත් වූයේ දිලිප් කුමාර් යන නමිනි.
ඔහු ‘ජවාර් භාතා’ චිත්රපටයෙන් පළමුව රංගනයට ප්රවේශ වූයේ 1944දීය. ඉන්පසුව, 1949 – ‘අන්දාස්’, 1952 – ‘ආන්’, 1952 – ‘ඩාග්’, 1955 – ‘දේව්දාස්’, 1955 – ‘අසාද්’, 1960 – ‘මෝගල් ඊ අසාම්’, 1961 – ‘ගංගා ජමුනා’ 1967 – ‘රාම් ඕ ෂයම්’ 1981- ‘ක්රාන්ති’ 1982 -ශක්ති, 1984 – මෂාල්, 1986 – කර්මා ඇතුළු චිත්රපට 65ක පමණ ඔහු රංගනයෙන් දායක විය. දිලිප්ගේ අවසන් චිත්රපටය වූයේ ‘කිලා’ (1998) ය.
ඔහු 2000 වසරේ සිට 2006 තෙක් කාලයේ මහාරාෂ්ට්ර ප්රාන්තය වෙනුවෙන් ඉන්දීය රාජ්ය සභාව ද නියෝජනය කළේය. ඉන්දිය සිනමාවේ ජනප්රිය සැණකෙලිය වන ‘ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලවලදී වැඩිම වාරයක් ‘හොඳම නළුවා’ සම්මානය දිනා ඇත්තේ ද දිලිප් කුමාර් වීම විශේෂත්වයකි. දක්ෂතාවය මෙන්ම ජනප්රියතාව නිසා හින්දි සිනමාවේ යුගයක් නියෝජනය කළ ඔහු 1991 වසරේ පද්ම භූෂන්, 2015 දී පද්ම විභූෂණ සම්මානවලින් ද දිලිප් කුමාර් පිදුම් ලැබුවේය.
මිය යන අවස්ථාවේ වයස 98 ක් වූ මෙම ඛාන්, (දිලිප් කුමාර්) සතියකට පමණ පෙර අධි රුධිර පීඩනය සහ ස්වසන අපහසුතා සහිතව රෝගාතුර වී මුම්බායි හින්දුජා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියේය.