ගංවතුරට හසු වූ කතගේ මරණයට ඇඟලුම් කම්හලට චෝදනා!

File Photo

පසුගිය 06 වැනිදා කළුතර දිස්ත්රිටක්කයට අයත් වලල්ලාවිට ප්‍රදේශයේදී සැඩ පහරට හසුවීමෙන් කාන්තාවක් මිය යාම පිළිබඳව ඇය සේවය කළ ඇඟලුම් කම්හලට ප්‍රදේශවාසීන්ගේ චෝදනා එල්ල වී තිබේ. 59 හැවිරිදි එක් දරු මවක් වන ඇය මිය ගියේ ඔලගොඩ පිහිටි සිය නිවසට යමින් සිටියදීය.
ඇය සේවය කරන්නේ පිටිගල පිහිටි ඇඟලුම් කම්හලකය. එදින නිෂ්පාදන ඉලක්ක සම්පූර්ණ කළ යුතු බව ආයතනයේ කළමනාකරුවන් සේවකයින්ට බල කර තිබේ. එහෙත් මිය ගිය සේවිකාව ඇතුළු අනෙකුත් සේවක සේවිකාවන් ප.ව. 2.00 පමණ සිට වරින් වර කළමනාකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ දිගින් දිගටම පවතින වැසි තත්වය හේතුවෙන් ගංවතුර ඇතිවිය හැකි නිසා වේලාසනින් ආයතනය වසා සේවකයන් පිටත් කරන ලෙසයි. එහෙත් ඒ සම්බන්ධයෙන් කළමනාකරුවන්ගේ අවධානය යොමු වී නැත.
ප.ව. 4.00ට පමණ නිෂ්පාදන ඉලක්ක සම්පූර්ණ කළ පසුව ඉක්මනින්ම බස් රථය ගෙන්වා තමන් පිටත් කර හරින ලෙස ඔවුන් දැනුම් දී ඇතත් නිෂ්පාදන ඉලක්ක සම්පූර්ණ කිරීමේ සතුට වෙනුවෙන්ට සංගීත සාජ්ජයක් පැවැත්වීමට ආයතන කළමනාකරුවන් සේවකයන් බලහත්කාරයෙන් නතර කර ගෙන සිටි බවට චෝදනා එල්ල වී තිබේ.
සංගීත සාජ්ජය අවසන් වී ප.ව. 6.00ට පමණ බස් රථයෙන් සේවක සේවිකාවන් රැගෙන ගොස් තිබෙන අතර ඒ වන විට මාර්ග ගණනාවක් යට වී ගංවතුර තත්වයක් ඇති වී තිබේ.
මිය ගිය කාන්තාවන් හා තවත් පිරිසක් ජලප්‍රවාහයක් පිටාර යමින් තිබූ මාර්ගයක් හරහා නිවෙස්වලට යාමට උත්සාහ කිරීමේදී සැඩපහරට හසුව තිබේ. ගංවතුර තත්වයක් ඇති විය හැකි බව පෙනෙන්නට තිබියදී නිෂ්පාදන ඉලක්ක සම්පූර්ණ කිරීමට සේවකයන් රඳවා ගෙන සිටීමත් නිෂ්පාදන ඉලක්ක සම්පූර්ණ කළ පසුව පවා ඔවුන් පිටත් කර නොහැරීම පිළිබඳව ඇයගේ අවමංගල සභාවේදීද ආයතන කළමනාකරුවන්ට විරෝධය පළ වී තිබේ.

Chandana Sirimalwatte :