ගුරු හිගයට විසදුම් ඉල්ලා ඇලහැර ජනතාව වීදි බසී!

මාතලේ දිස්ත්‍රික්කයට අයත් බකමූණ, ඇළහැර ප්‍රාථමික විදුහලේ දීර්ඝකාලයක් විසදා නැති ගුරු හිඟයට විසඳුම් හා පාසලේ පවතින අඩුපාඩු සපුරා දෙන ලෙස බලධාරින්ට බලකරමින් සිසු දරු දැරියන්ගේ මව්පියන් පිරිසක් උද්ඝෝෂනය කරති.

ඔවුහු ඊයේ (28) දින උදයේ ඇලහැර නගරය මැද මෙම විරෝධතාව පැවැත්වූ අතර ඒ හේතුවෙන් දඹුල්ල‍, මොරගහකන්ද ප්‍රධාන මාර්ගය මාතලේ මහියංගනය ප්‍රධාන මාර්ගය, මාතලේ මොරගහකන්ද ප්‍රධාන මාර්ගය පැය කිහිපයකට අවහිර විය.

විරෝධයේ යෙදී සිටි ප්‍රදේශවාසී ජනතාව කියා සිටින්නේ සිසු දරු දැරියන් 400 ආසන්න ප්‍රමාණයක් ඉගෙන ගන්නා ඇලහැර කනිෂ්ඨ විද්‍යාලයේ ඉගැන්වීම් සඳහා ගුරුවරුන් ලෙස ඉන්නේ 14ක් පමණක් බවය. ගුරුවරුන් නොමැති වීම විද්‍යාලයේ ගොඩනැඟිලි අබලන් තත්ත්වයට පත්වීම හේතුවෙන් බරපතළ ප්‍රශ්න රැසකට දරුවන් මුහුණ පා සිටින බව ඔවුහු පවසති.

විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් ප්‍රධාන මාර්ගයේ වාඩිවී සටන් පාඨ කියමින් දෙමව්පියෝ පිරිස ඇලහැර මංසන්ධියේ විරෝධතාවයක නිරත වෙද්දී බකමූණ පොලිසියේ නිලධාරින් පැමිණ මාර්ගය විවෘත කිරීමට දැඩි උත්සාහයක නිරත වුවද එම උත්සාහය ව්‍යර්ථ විය.

1987 වසරේ මෙවැනිම අබලන් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පාසලේ සිසුවියක් මිය යෑමත් සමඟ ගොඩනැගිලි අලුත්වැඩියා කළ බවත් එදා සිට මේ දක්වාම පාසලේ ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම් සියල්ල සිදු කර ගනු ලැබුවේ දෙමව්පියන් බවත් තවත් දරුවෙකු බිලි දීමට නොහැකි වූ තැන මෙයාකාරයෙන් ප්‍රධාන මාර්ගයට ගොස් විරෝධතා නියැලුණ බව දෙමවුපියන් සඳහන් කළේය.

මෙම විරෝධතාව පාලනය කිරීමට පැමිණී පොලිසියේ නිලධාරීන් ප්‍රධාන මාර්ගය අවහිර කරන්නේ නම් නීතිය නීතිය ක්‍රියාත්මක කරන්නට සිදුවන බව පොලිසිය උද්ඝෝෂකයන්ට දැනුම් දෙන ලදී. එහිදී මව්පියන් කියා සිටියේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මව්පියන්ට හිරේ යන්න සිදුවන්නේ නම් තම
දරුවන් භාර ගන්නට පොලිසියට සිදුවන බවය.

Chandana Sirimalwatte :