ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරී ගැසට් නිවේදනය පිළිබද පෙත්සම් විභාගය අද(7) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කළ අතර ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය තීන්දුව ලබා දෙන දිනය දක්වා කල් තැබීය.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 13ක් දින 04ක් පුරා පැවති විභාගය අවසන් කෙරිනි. කෙසේ නමුත් අද දින තීන්දුව ප්‍රකාශ කිරීමේ දිනය පිළිබඳව ප්‍රකාශ කර නැත
පෙත්සම්කරුවන් වෙනුවෙන් ප්‍රතිඋත්තර ප්‍රකාශ කිරීම ආරම්භ කරමින්
අද දින ජනාධිපති නීතිඥ කණගීස්වරන් කරුණු දක්වන ලදී. ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට සිවිල් හා අපරාධ නඩුවලින් නිදහස්ව සිටීම සඳහා මුක්තියක් හිමිවී තිබුණද එම මුක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් සීමා කර ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ විධායක සහ පරිපාලන ක්‍රියාවලට එරෙහිව මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරීමට ප්‍රතිපාදන සලසා ඇත. ජනාධිපතිවරයාගේ නිල කටයුතු අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට හැකියාව ඇති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයාගේ නිල කටයුත්තක් බැවින් ඒ පිළිබඳව ද මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදන යටතේ අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට හැකියාව තිබෙන බවද ජනාධිපති නීතිඥ කණගීස්වරන් අවධාරණය කර තිබේ.
අගවිනිසුරු නලින් පෙරේරාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවෝ කටයුතු කරති.