2018 රාජ්‍ය සම්මාන උළෙලේ දී හොදම ළමා සාහිත්‍ය පරිවර්තිත කෘතිය වෙනුවෙන් සම්මාන ලැබූ ප්‍රවීන ජනමාධ්‍යවේදිනි දේවිකා වඩිගමංගාව කළ ප්‍රකාශය මෙරට ජනමාධ්‍ය සියල්ලන් විසින් යට ගසන ලදී.
සැප්තැම්බර් 11 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන වේදිකාව මතදී, ඇය කළ ප්‍රකාශය”ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යෙව්දියෝ“ විසින් සිය JDS Lanka වෙබ් අඩවියේ වාර්තා කර තිබිණි.
එහි සදහන් අන්දමට, සම්මානය ලබාගන්නට වේදිකාවට නැගි දේවිකා වඩිගමංගාව, රාජ්‍ය මර්දනයට ලක්වූ සිය වෘත්තීය සගයන් පිළිබද යුක්තිය ඉටුකිරීමට ආණ්ඩුව අසමත් වීම පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කළාය. යුද්ධය සමයේ මරා දැමූවන්, අතුරුදන් කරවූවන් දහස් ගණනක් අතර ජනමාධ්‍යෙව්දින් සියගණනක් සිටි බව සිහිපත් කරමින් වත්මන් ආණ්ඩුව විසින් ඒ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බවට දුන් මැතිවරණ පොරොන්දු කඩ කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය හා කෝපය, ආණ්ඩුවේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබද අැමති විජේදාස රාජපක්ෂ ද සිටි සභාව ඉදිරියේ ඇය පළ කර සිටි සිටියා ය.
“..මේ මරාදැමූ, බලහත්කාරී ලෙස අතුරුදහන් කළ, අතපය බිඳදැමූ සහ යුක්තිය අහිමි කළ සියල්ලෝ දශක දෙකක් පුරා විහිදී ගිය වාත්තීය ජනමාධ්‍ය ජීවිතයක් හිමි මාගේ වෘත්තීය සගයෝ වෙති…
මට මේ සම්මානය පිරිනමන්නේ දේශපාලනඥයකු නම්, ඒ ජනාධිපතිවරයා වුවත් මම එයට අත නො තබන්නෙමි. එහෙත් එය මා වෙත පිරිනැමෙන්නේ සාහිත්‍යවේදියකු අතින් වීම හේතුවෙන්, කලාකරුවන්ට කරන ගරුකිරීමක් ලෙස මම එය භාරගන්නෙමි.”
අනතුරුව, හොඳම පරිවර්තික ළමා සාහිත්‍ය කෘතිය (දෙවැනි කාණ්ඩය) යටතේ සම්මානයට තෝරාගත් ‘මමයි මගේ අක්කා ක්ලාරායි‘ වශයෙන් පරිවර්තිත ළමා සාහිත්‍ය කෘතිය වෙනුවෙන් ඇයට හිමි සම්මානය හා සන්නස් පත්‍රය බුද්ධදාස ගලප්පත්ති සහ සෝමරත්න බාලසූරිය යන ප්‍රවීණ ලේඛකයන් දෙදෙනා වෙතින් භාරගත්තාය.
80 දසකයෙන් පුවත්පත් කලා ජීවිතයට පිවිස, දීර්ඝ කාලයක් ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ දේවිකා වඩිගමංගාව, 1977 ශ්‍රීල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හා සාහිත්‍යවේදියකු වූ සද්ධාතිස්ස වඩිගමංගාවගේ දියණියයි. වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ ක්‍රියාකාරි සාමාජිකාවක වූවාය. එම සංගමයේ සටන්කාමී සභාපතිවරයකු ලෙස කටයුතු කළ ඒ නිසාම 2009වන විට රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනයට ඉලක්ක වූ සිය ප්‍රියයා, ප්‍රවීන මාධ්‍යවේදි සනත් බාලසූරිය සමග ජීවිතාරක්ෂාව පිණිස විප්‍රවාසික ජීවිතයකට ගියාය. ඇය සිය සම්මමානය ලබාගන්නට ප්‍රථම සම්මාන උළෙල ඉදිරියේ කියුවේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ මාධ්‍යවේදින්ට විදින්නට සිදුවූ තාඩන පීඩන මෙන්ම යුද සමයේ විවිධ පීඩාවන්ට හා මරණයට පත් උතුරේත් දකුණේත් රාජ්‍ය මර්දනයේ ඉලක්කයක් බවට පත්වූ තමිල් ජනයාගේ ජීවිත සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට පාලකයන් මෙන්ම සමාජයක් ලෙස අප අසමත්වීම පිළිබද සිය අදහසයි.
(මූලාශ්‍රය – www.jdslanka.org)
(ලංකාවේ ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින්, 2018 රාජ්‍ය සාහිත්‍ය උළෙල වාර්තා කිරීමට ගිය කිසිදු වෘත්තීය ඡායාරූප මාධ්‍යවේදියකුගේ කැමරා කාචයක සටහන්ව නොතිබුණු සහ කිසිදු ජනමාධ්‍ය ආයතනයක් විසින් පළ නොකළ මෙම පුවත හෙළිදරව් කිරීමේදී ඡායාරූප වාර්තාකරණය පීටර් ජෙරොම් තිසරණ පෙරේරා සොයුරාගෙනි)