Posted on 09.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජාතික රූපවාහිනිය විසින් සමස්ත ජනතාව අතර සමානාත්මතාව හා සමගිය වර්ධනය කරන්නට කටයුතු කරනු වෙනුවට වෛරය හා ද්වේශ සහගත ආකල්ප වර්ධනය කරවන අදහස් විකාශය කරන බවට චෝදනා නැගී ඇත.
මේ සම්බන්ධව විවිධ පාර්ශ්ව විසින් ප්‍රසිද්ධියේ විවේචන සිදුකරමින් සිටින අතර ජනමාධ්‍ය ඇමතිවරයා වෙතද පැමිණිලි ලැබී ඇති බව වාර්තා වේ.
සැප්තැම්බර් 18 උදෑසන 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වූ ආයුබෝවන් වැඩසටහනට සහභාගි වූ ගලබොඩඅත්තේ ඥානසාර හිමි විසින් මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් සැකය සහ වෛරය මතුකරන වෛරී ප්‍රකාශන ගණනාවක් පවසන ලදී.
එහිදී ඥානසාර හිමියන් විසින් මුස්ලිම් ජනතාව ‘ඇවිදින බෝම්බකාරයන්’ ලෙස හඳුන්වා ඇති අතර ‘මුස්ලිම් අන්තවාදීන් ඕනෑම වෙලාවක ක්‍රියාත්මක වෙන්න පුළුවන්” යයි කියමින් ප්‍රේක්ෂකයන් අතර සැක, බිය සහ වෛරය මතුකරවන ප්‍රකාශ සිදුකර ඇත. තවදුරටත් සිය ප්රකෝපකාරී හා වෛරී ආකල්ප ප්‍රකාශ කරමින් ඒ හිමි පවසා තිබුණේ ‘මුස්ලිම් ජනතාව සන්නද්ධ වෙමින් සිටින’බවයි.
මෙම බරපතළ ප්‍රකාශ හා වෛරී අදහස් පළ කිරීම සම්බන්ධව එම සජීවි වැඩසටහන මෙහෙයවූ නිවේදක අසේල බණ්ඩාරනායක කිසිදු බාධා කිරීමක් හෝ ආයතනය වෙනුවෙන් ප්‍රේක්ෂකයන් හමුවේ සමාව ඉල්ලීමක් සිදු කලේ නැත. විශේෂයෙන්ම ජාතික රූපවාහිනි සංස්ථාව එදා සිට මේ දක්වා මෙම වැඩසටහනින් සිදුකළ හානිය සම්බන්ධ පසුතැවීමක් හෝ කම්පනයක් පෙන්වා නැත.
මුස්ලිම් ජනයා සම්බන්ධ ඥානසාර හිමි එල්ල කළ චෝදනා පිළිබඳ විශ්වසනීය සාක්ෂි තිබුනේ නම්, ඒ හිමියන් කළ යුතුව තිබුණේ ආරක්ෂක අංශවලට එම තොරතුරු ලබාදීමය. රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතර බිය සහ වෛරය පතුරුවාලීම බරපතළ වරදකි.
ජාතික රුපවාහිනි සංස්ථාව මෙම වැඩසටහන සජීවි ලෙස විකාශනය කළ පසුව දැන් අන්තර්ජාලය ඔස්සේද එය සංස්කරණයකින් තොරව යූටියුබ් චැනලයේද ප්‍රේක්ෂකයන් බිය වද්දමින් වෛරය පතුරවමින් පවති.