தமிழ்
English
Contact
Tuesday 28th December 2021    
ඩොලර් හිගය නිසා කප්පාදුව ඉදිරියට - තනාපති කාර්යාල 3ක් වසා දමයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩොලර් හිගය නිසා කප්පාදුව ඉදිරියට – තනාපති කාර්යාල 3ක් වසා දමයි!



ඩොලර් හිගය හේතුවෙන් රටවල් තුනක තානාපති සබඳතා කාර්යාල තුනක් දෙසැම්බර් 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත.

විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ නයිජීරියාවේ අබුජා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ සයිප්‍රසයේ නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දැමෙන බවයි.

මෙම දූතමණ්ඩල කාර්යාල වසා දැමීමට හේතුව ලෙස විදේශ අමාත්‍යංශය දක්වා ඇත්තේ ගෝලීය වසංගතය හේතුවෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ රටට අවශ්‍ය විදේශ සංචිත සුරක්ෂිත කිරීම සහ විදේශවල දූත මණ්ඩල කාර්යාල නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන වියදම් අවම කර ගැනීමේ අරමුණින් මෙම තීන්දුව ගෙන ඇති බවය.

ඉදිරියටද මෙලෙස හඳුනාගත් දූත මණ්ඩල කාර්යාල වසා දැමීමේ ක්‍රියාදාමයක් සිදුවන්නට නියමිත බව මෙයින් පෙනී යයි. විදේශ රටවලින් හා සංවිධානවලින් ණය ලබා ගෙන කිසිදු ආර්ථිකමය ප්‍රතිලාභයක් නොමැති ප්‍රදර්ශණකාමී කටයුතු වලට වැය කරමින් 2005 සිට රාජපක්ෂ පාලනයන් විසින් ගෙන ගිය අදූරදර්ශී පිළිවෙත නිසා ඉදිරියේදී මීටත් වඩා බරපතළ කප්පාදු කිරීම් සිදුවන්නට නියමිතය.

දිගින් දිගටම වසර 73ක ධනපති ආණ්ඩු විසින් ගෙන ගිය ආර්ථික පිළිවෙත් අවසානයේ රටත් ජනතාවත් අවසානයක් නොදකින අර්බුදයක් කරා ඇද දමා තිබේ. මෙම අර්බුදයෙන් මිදීම සඳහා ගෙන එන කප්පාදු පිළිවෙත් හරහා ජනතා සුබසාධන හා දැනට බුක්ති විඳින සීමිත අයිතිවාසිකම් පවා අහිමි කිරීමේ අනතුරක් ඇත.