තරුණයකු පැහැරගැනීමේ නඩුව ගොඩින් බේරාගන්න හිරුණිකා සූදානම්ලු!

තරුණයකු පැහැරගෙන ගොස් හිරිහැර කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව හැකි ඉක්මනින් අවසන් කරගන්න අවශ්‍ය බව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටින නිතිඥවරු කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී ඇත.

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම සහ ඊට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ (8දා) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැදවන ලදී.

තමන් සිදුකළ වරද පිළිගෙන එම නඩු විභාගය කෙටියෙන් අවසන් කර ගැනීමේ සූදානමක් පවතින බව ඇයගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර තම සේවාදායිකාව වෙනුවෙන් තමන් මෙම නඩුවට අදාළව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවද දැනුම් දුන්හ. නඩුවේ විභාගය දෙසැම්බර් මස 11දා දක්වා කල් දැමුණු අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයාට නියෝග කළේය.

2016 වසරේ දෙසැම්බර් මස 21දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයා පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම සහ ඊට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඇයගේ ආධාරකරුවන් 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි. මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනා වරද පිළිගත් බැවින් ඔවුන්ට අත්හිටුවූ සිර දඬුවම් හා දඩ මුදල් අධිකරණය විසින් නියම කරන ලදී. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය වරද පීළිගන්නට සූදානම් වන්නේ මෙම පසුබිම තුළය.

පුද්ගලයකු කැමැත්තෙන් තොරව ස්ථානයකින් වෙනත් තැනකට ගෙන යාම ජාත්‍යන්තර වශයෙන් ලංකාව පිලිගෙන ඇති දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් නිති උල්ලංඝනය කිරීමකි. මේ වනවිට ආරක්ෂක හමුදාවලට චෝදනා එල්ල වී ඇති නඩු ගණනාවකටද අදාළ කාරණය වන්නේ පුද්ගලයන් නිසි විධි ක්‍රමයකින් තොරව අත්අඩංගුවට ගැනීම, රදවා තබාගැනීම වැනි කරුණුය. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය 2015 එක්සත් ජාතික පක්ෂයේ හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලනය පිහිටුවන්නට මහත් සහායක් දැක්වූවාය. පැහැරගෙන යාමේ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධමය වරදක් බැවින් එයට සමාදානයක් මගින් ලිහිල් දඩුවම් දියහැකිද යන්න නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.

Chandana Sirimalwatte :