තිස්ස අත්තනායක කූඨ ‌‌ලේඛන ‌චෝදනාවෙන් නිදහස්!

2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට සඳහන් කූඨ ලේඛනයක් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ ‌චෝදනාවලිිින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක නිදහස් කර ඇත.

පැමිණිලිකාර රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන විසින් හිටපු ඒ.ජා.ප. මහ ලේකම් ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අවසන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි එම නඩුවේ විත්තිකරු තිස්ස අත්තනායක නිදහස් කිරීමට නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී  විත්තිකාර තිස්ස අත්තනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වී තිබෙන ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් පැමිණිලිකාර රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යන අයට යම් අපහසුවක් හෝ පාඩුවක් සිදුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් විත්තිකරු සමාව අයැද සිටින බවත් මින් මතුවට විත්තිකරු මේ ආකාරයේ ලේඛන ඉදිරිපත් කිරීමක් නොකරන බවටත් ප්‍රකාශ කර සිටියේය.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබූ අතර ඔවුන්ට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා හතර වතාවක්ම සිතාසි නිකුත් කර තිබුණත් ඔවුන් රාජකාරිමය හේතූ දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
විත්ති සහ පැමිණිලි පාර්ශවය අතර යම් සංහිඳියාවක් ගොඩනැගී ඇති බවත් විත්තිකරු මෙම වරද සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමක් සිදුවන බව පෙනී යන හෙයින් මෙම නඩුව අධිකරණයේ අභිමතය පරිදි අවසන් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයට දන්වා සිටියේය.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ වගකිවයුතු පුද්ගලයින් මාධ්‍ය ඉදිරියේ යම් ප්‍රකාශයක් සිදු කිරීමට පෙර එහි බරපතළභාවය පිළිබඳ තේරුම්ගෙන ඒවා සිදු කිරීම වැදගත් වන බවයි.

කූඨ ලේඛනයක් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රදර්ශනය කිරීම තුළින් ජාතීන් අතර පවතින සුහදතාවය කඩාකප්පල් කිරීමට ක්‍රියා කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළීබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින අගමැති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර ඇතුළු නීතිඥ කණ්ඩායමක්ද දෙවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රමද පෙනී සිටියහ.

Chandana Sirimalwatte :