Posted on 12.31.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුවේ ට්‍රැවල් බබල් ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයන් තිදෙනෙකුට කොවිඩ් වෛරසය අසාදනය වී තිබුණද එම ව්‍යාපෘතිය නොනවත්වා ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබේ. මේ පිලිබඳව ද මෝර්නින් පුවත්පත හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ මේ ආකාරයට සංචාරකයන්ගෙන් යම් පිරිසකට කොවිඩ් වැළදෙනු ඇති බව මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කළ බලධාරීන් බලාපොරොත්තු වූ බවයි.
මෙළෙස පැමිණෙන සංචාරකයන් 100 දෙනෙකුගෙන් 90කට පමණ කොවිඩ් වෛරසය වැළඳුනු බව අනාවරණය වූවේ නම් එය වෙනස් තත්ත්වයක් වුවත් දැනට කොවිඩ් වැළඳී ඇත්තේ තිදෙනෙකුට පමණක් බැවින් එය ගැටලුවක් නොවන බවත් ඒ අනුව සංචාරකයන් ගෙන ඒමේ ව්‍යපෘතිය නතර නොකරනු ඇති බවද හමුදාපතිවරයා පවසා ඇත.
පසුගිය 28 වැනිදා යුක්රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකයන් 186 දෙනා අතරින් තිදෙනෙකුට කොවිඩ් අසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය. ඒ අනුව එම සංචාරකයන් සියලු දෙනා සහ ගුවන් කාර්ය මණ්ඩලය දින 14ක් නිරෝධායනයට යොමු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත. විදේශයක සිට පැමිණෙන යම් පුද්ගලයෙක් ගුවන් ගතවීමට ප්‍රථම පීසීආර් පරීක්ෂණ කළ යුතුව තිබුණද මෙම සංචාරකයන්ට එය අනිවාර්ය කර නොතිබූ බව මාධ්‍ය වාර්තා පලවෙමින් පවතියි. ආණ්ඩුව යම්කිසි ආකාරයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මෙහිදී කඩ කර තිබේ.
තවද පසුගිය 29 වැනිදා ද දෙවැනි සංචාරක කණ්ඩායම මෙලෙස යුක්රේනයේ සිට සංචාරකයන් 204 දෙනකු මෙරටට පැමිණ ඇත. ඒ අනුව යුක්රේන සංචාරකයන් තුන්සිය අසූනව දෙනකු මෙරටට පැමිණ තිබේ.
එම සංචාරකයන් යළි යුක්රේනයට යාමට ඉල්ලා සිටියහොත් ‘ට්‍රැවල් බබල්’ ක්‍රමය යටතේම මත්තල ගුවන්තොටුපළෙන් එරටට යැවීමට කටයුතු කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.
එමෙන්ම නිරෝධායන දින 14 අවසන් වූ පසු එම සංචාරකයන්ට මෙරට සංචාරය කිරීමටද හැකියාව පවතියි. මිට අමතරව මෙම යුක්‍රේන සංචාරකයන් පිළිගත් නර්තන කණ්ඩායම් ඇතුළු සේවකයන් නිරෝධායනය කිරීමට අවශ්‍ය බවට මත්තල ගුවන්තොටුපොළෙහි වෛද්‍ය නිලධාරි තීරණය කරන්නේ නම් ඔවුන් සහ එම සංචාරකයන්ගේ පළමු ආශ්‍රිතයන් බවට හඳුනා ගන්නා පිරිස නිරෝධායනය කිරීමට කටයුතු කරන බවද පැවසේ.
යුක්රේන සංචාරකයන් පිරිස ළඟාවීමට ප්‍රථම මත්තල ගුවන් තොටුපොළේ දී මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ, ජනවාරි 24 දින දක්වා මෙම සංචාරක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවය. ඒ අනුව යුක්‍රේනය , රුසියාව ඇතුලු රටවලින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිතව බවද ඔහු පැවසීය. මෙම සංචාරකයන් සඳහා නිරෝධායන කාල සීමාව අඩු කිරීමටත් දින 7ට පසු රට පුරා සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමත් මෙම ව්‍යාපෘතිය අනුව සිදුකිරීමට නියමිතය.
මේ වනවිට යුක්රේනයේ කොවිඩ් වැලඳී ඇති රෝගීන් සංඛ්‍යාව දසලක්ෂ තිස්දහස් තුන්සිය හැට දෙදෙනකු (1,037,362) වන අතර ඉන් මියගිය සංඛ්‍යාව දහඅට දහස් අසූ එකක් (18,081) බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මීට අමතරව කොවිඩ් රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවෙන රටවල් අතරින් රුසියාව හතරවන ස්ථානයේ පසුවෙයි. මෙවැනි තත්ත්වයදී සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා නොතකමින් සංචාරකයන් මෙරටට ගෙන්වීම යනු තවත් කොවිඩ් රැල්ලකට අතවැනීමක් මිස වෙන කිසිවක් නොවේ.