Posted on 01.09.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
මේ වනවිට තීරණය ගෙන ඇති ආකාරයට දිනයක පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා පැයක විදුලි කප්පාදුවක් සහ පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා උපරිම වශයෙන් විනාඩි 45ක විදුලි කප්පාදුවක් වශයෙන් මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය(CEB) විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) ඇති ණය ප්‍රමාණයෙන් රු. බිලියන 90 ක මුදලක් දැනටමත් ගෙවා ඇති අතර, ඩොලර්වලින් ණය පියවන්නේ නැත්නම් ඉන්ධන සැපයීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය විසින් ලංවිමට දන්වා තිබුණි.
ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන ආනයනය සහ පරිභෝජනය සීමා කිරීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තාප බලාගාරවලට ඉන්ධන සැපයීමෙන් ඉවත් විය. මීට අමතරව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වන ඒකකය සහ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටසක් නඩත්තුව සඳහා වසා දැමීම සහ කලණිතිස්ස 115MW ගෑස් ටර්බයින බලාගාරයේ බිඳවැටීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට සිදු වේ.
විදුලි අර්බුදය මඟහරවා ගැනීමට නම් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කළ යුතු බවට විදුලි බල මණ්ඩල පරිපානයට වේලාසනින් දන්වා තිබූ ණද, අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල අනපේක්ෂිත ලෙස විදුලි කප්පාදුවක් සිදු විය. ඉල්ලුමට සරිලන පරිදි සැපයුමට නොහැකි වූ විට, පද්ධතිය ස්වයංක්‍රීයව බිඳ වැටෙන අතර මෙය විදුලිය විසන්ධි වීමට හේතු වේ. ඒ වෙනුවට පූර්ව දැනුම්දීමකින් පසු නිශ්චිත වේලාවක යම් ප්‍රදේශයකට විදුලිය විසන්ධි කරන විට එයින් ජනතාව පෙර සූදානමක් ඇති කරගන්නා බැවින් හානිය අවම වන බව විදුලි බල මණ්ඩලයේ අදහසයි.
විදුලි බල මණ්ඩලය සතු පැරණි තාප විදුලි බලාගාරය වන 115MW ක් උත්පාදනය කළ කැලණිතිස්ස බලාගාරය මේ වන විට තාක්ෂණික බිඳවැටීමකට ලක්ව ඇත. මෙගාවොට් 150 ක විදුලි බලයක් උඵදවන සපුගස්කන්ද බලාගාරය සහ මෙගාවොට් 60 ක විදුලි සැපයුමක් දායක කරන කොළඹ වරායේ පාවෙන විදුලි ජනකය ඉන්ධන නොමැතිකම හේතුවෙන් නතර කරණ ලදී. මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා මාසයක කාලයක් වසා දමා ඇති 3 වැනි ඒකකයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක විදුලිය අහිමි වී තිබේ. එසේම කෙරවලපිටිය මෙගාවොට් 300 බලාගාරයේ යුගදනවි කොටසක් නියමිත නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය මාසයේ සිට ක්‍රියාත්මක නොවීය. මේ නිසා ඒයින් ජාතික විදුලිබල පද්ධතියට සපයන්නේ මෙගාවොට් 150ක් පමණි.
මේ වන විට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 40%ක් ජල විදුලියෙන් ද 30%ක් ගල් අඟුරු බලයෙන්ද 22%ක් තෙල්වලින්ද තවත් 8%ක් සූර්ය හා සුළං බලයෙන්ද සපුරනු ලබයි. වර්ෂාව නොමැති බැවින් ජල පෝෂක ප්‍රදේශවල කුඩා ජල විදුලි බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොවේ.