අද(29) කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පැවැත්වූ ‘දිදුලන හදවත‘ සංවිධානයේ සාමකාමී විරෝධතාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි සදහා යොදවන ලද පොලිස් නිලධාරින් යොදා බාධා කරන ලද බව වාර්තා වේ.
කලාකරුවන්, මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරින් එක්ව පිහිටුවගත් මෙම සංවිදානය විසින් අද ‘ගේම් ඇති – පුරවැසි මතයට හිස නමනු!‘ යනුවෙන් විරෝධතා බැනරයක් ප්‍රදර්ශනය කරන්නට කටයුතු කර තිබිණි. එම විරෝධතාව රාජගිරිය, බොරැල්ල වැනි කොළඹ නාගරික ප්‍රදේශවල ප්‍රදර්ශනය කර ගාලු මුවදොර පිටිය ආසන්න ජනාධිපති ලේකම් කාර්යාලය අසළට ගෙන ගිය අවස්ථාවේ පොලිස් නිලධාරින් විසින් එම බැනරය හා විරෝධතාකරුවන් ආවරණය කරමින් බලහත්කාරීත්වයක් ඇතිකරන ලදී. ජනමාධ්‍යෙව්දින්ට එම අවස්ථාව ආවරණය කිරිමට හෝ මාර්ගයේ ගමන්කරන ජනයාට විරෝධය සම්බන්ධ වටහාගන්නට නොහැකි අන්දමින් විරෝධතා පුවරු හා විරෝධතා ක්‍රියාකාරිකයන් ආවරණය කරන්නට පොලිසිය විසින් නිර්ලජ්ජිත උත්සාහයක් ගෙන තිබිණි.
හවුල් ආණ්ඩුවේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට අයත්ව තිබුණු පොලිස් දෙපාර්තමේන්තුව, පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ස අගමැති ලෙස පත් කළ පසුව ආරක්ෂක අමාත්‍යංශ විෂයක් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පවරාගන්නා ලදී.