Posted on 11.23.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපතිවරයාට සමීපයකු ලෙස කටයුතු කරමින් සිටි සහ හවුල් ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක පසුගිය දින කිහිපයේම පර්ලිමේන්තුවට නොපැමිණීමට හේතුව ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ බල මාරුව නිසා කළකිරී සිටිම බවට දේශපාලන අංශවල කතාබහට ලක්වී තිබේ.
2014 මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වන විට රාජිත සේනාරත්න සමග පැමිණි ඇමතිවරයා ඔහුය. රාජිත එක්සත් ජාතික පක්ෂයට සමීප වුවද දුමින්ද දිසානායක මෛත්‍රිපාල සිරිසේන සමග සමීපව සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග දුන් උපදෙස් අනුව බවට රාවයක් පැතිර තිබිණි. කෙසේ වෙතත් ඔක්තෝබර් 26 වැනිදා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළ පසුව දුමින්ද දිසානායක ඇමති ධුරයද භාරගත් නමුත් පසුගිය පාර්ලිමේන්තු දින 4 තුළම ඔහු සභාවට පැමිණියෙ නැත. නෙැවම්බර් 14, 15, 16 හා දිනවලදී ඔහු මෙසේ නොපැමිණියේ රෝගි තත්වයෙන් පසුවූ නිසා බවට ඇතැම් මන්ත්‍රිවරු පැවසුවද අදත් ඔහු නොපැමිණියේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැති කරමින් ඔහු බලයට පත් කිරීමට ගත් පියවර නිසා කලකිරීමෙන් සිටින නිසා බවට දේශපාලන රාවයක් පැතිර යමින් තිබේ.
රාජපක්ෂ ආණ්ඩුවේ සිටියද කෙනෙහිලිකම් නිසා කලකිරී සිටි බර්ටි ප්‍රේමලාල් දිසානායක ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායකට සමීප දේශපාලනඥයෙකි. ඔහුගේ පුත්‍රයා කෙරෙහිද මහින්ද එතරම් සැලකිල්ලක් නොදැක්වූ නිසා මෛත්‍රිපාල සිරිසේන 2014 ඉවත්වන අවස්ථාවේම මහින්ද වෙතින් ඉවත්විය. නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිය දේශපාලන ගණන් බැලීම් අනුව මහින්ද නැවත බලයට පත් කිරීම නිසා නැවත මහින්ද රාජපක්ෂ වෙත පැමිණීමට සිදුවිම ගැන දුමින්ද දිසානායක ජනාධිපතිවරයා කෙරෙහිද කලකිරීමට පත්ව ඇත.