Posted on 01.21.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
නිරෝධායන නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කළ ආයතන 1050කට පරිපාලනයට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු යොදා ඇති බව මව්බිම පුවත්පත වාර්තා කර තිබේ.
අතසෝදා ගැනීමට ස්ථාන නොමැතිවීම, උෂ්ණත්වය පරික්ෂා නොකිරීම, මුහුණු ආවරණ පැළඳ නොසිටීම, දුරස්ථභාවය පවත්වා නොගැනීම, පැමිණෙන පිටවන අය සම්බන්ධයෙන් ලේඛන පවත්වාගෙන නොයෑම ඇතුළු තවත් නිරෝධායන සෞඛ්‍ය රීතිවලට පරිබාහිරව කටයුතු කිරීමමේ චෝදනා මෙම ආයතන පරිපාලකයන්ට එරෙහිව එල්ල වී තිබේ.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා ඇත්තේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සෞඛ්‍ය රීතිවලට අනුගතව කටයුතු කරන්නේදැයි සොයා ගැනීමට දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදුකරන බවද පවසා තිබේ.
කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූවේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතවයි. එපමණක් නොව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ කර්මාන්තශාලාවේ සේවකයින්ගේ තොරතුරු විශ්ලේෂණය කිරීමේදී සැප්තැම්බර් 20 වන දා සිට සමහර සේවකයින් තුළ ශ්වසන රෝග තිබී ඇති බවත් සැප්තැම්බර් 28 වන දින සිට රෝග ලක්ෂණ වර්ධනය වීමක් පෙන්නුම් කර ඇති බවත්ය.මෙම කර්මාන්තශාලාවේ සේවකයින් සැප්තැම්බර් 20 වන දාටත් ප්‍රථම සිට අසනීප තත්වයෙන් පසුවී ඇතැයි පොලීසිය පැවැත්වූ මූලික පරීක්ෂණ වලින් හෙළිවූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද පවසා තිබුණි.
ඔක්තෝබර් 04 වන ඉරිදා ගම්පහ රෝහලට ඇතුළත් කළ සේවිකාව රෝහලෙන් අහඹු ලෙස පරීක්ෂා කරන තෙක් සැප්තැම්බර් 20 වන දා සිට බ්‍රැන්ඩික්ස් ලංකා කළමනාකාරිත්වය එම කම්කරුවන්ගෙන් කිසිවෙකු නිසි වෛද්‍ය පරීක්ෂණයකට සිදු කිරීමට හෝ අවම වශයෙන් මහජන පරීක්ෂක වරයා දැනුවත් කිරීමට හෝ පියවර ගෙන නොතිබුණි. ඒ අවස්ථාවේ වෘත්තීය සමිති සහ සේවකයන් පැවසුවේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ පාලනාධිකාරියේ පවතින නොසැළකිල්ල හේතුවෙන් මෙම පැතිරීම සිදුවූ බවයි. නිරෝධායන නීති රීති කිසිවක් කර්මාන්තශාලාව තුළ ක්‍රියාත්මක නොවූ බව ද සේවකයන් පවසා තිබුණි.
නමුත් එලෙස නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කළ බ්‍රැන්ඩික්ස් ආයතනයට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත. ඇඟලුම් කම්හලට වෛරසය පැමිණියේ කුමන ආකාරයෙන්ද යන්න ගැන හෝ නිසි පරීක්ෂණයක් සිදුවූ වේ නැත.