Posted on 06.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඛණිජ තෙල් සංස්ථාවේ තෙල් පිරිපහදු ක්‍රියාවලිය යාවත්කාලීන කරන මුවාවෙන් ඛණිජ තෙල් පනත සංශෝධනය කර ආයෝජකයන්ට තෙල් සම්බන්ධ ක්‍රියාවලියට මැදිහත්වීමට පවතින සීමා ඉවත් කිරීමට සැරසෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ මේ පනත් සංශෝධනය හරහා ඛණිජ තෙල් සංස්ථාවේ මල බෙරය වැයීමට නියමිත බවයි.
දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,
“වර්තමාන ආණ්ඩුව සියල්ල අකර්මණ්‍ය කරලා විරෝධයක් ගේන්න තියෙන අවස්ථා අහිමි කරලා ආණ්ඩුව හැටට හැටේ පනත් සම්මත කරමින් අලුත් තීරණ ගනිමින් ක්‍රියාවලියක් යනවා. එයට අලුතින්ම ඇවිල්ල තියෙන සාකච්ඡාව තමයි ඛණිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා ඇවිල්ලා තියෙන යෝජනාව. පිටරට සිට පැමිණෙන විදේශ ආයෝජකයෙකුට තෙල් සම්බන්ධ ක්‍රියාවලියට මැදිහත්විමේදී සීමා තියෙනවා. මෙන්න මේ සීමාව සංශෝධනය කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. සියලු ක්ෂේත්රවල මේ ආණ්ඩුවේ ගජ මිතුරන්ට අවශ්‍ය කරන පහසුකම් ටික හදමින් ඉන්නවා. මේක මේ ආණ්ඩුව විතරක් කරපු එකක් නෙමෙයි. පහුගිය කාලේ හිටපු හැම ආණ්ඩුවක්ම ගජ මිතුරන්ට වාසි සලසන එක කරා. දැන් ඛණිජ තෙල් පනත සංශෝධනය හරහා තමන්ට අවශ්‍ය පාර්ශවවලට වෙළඳ පොළ විවෘත කිරීමේ ක්‍රියාමාර්ගය ඇවිත් තියෙනවා. ලංකාවේ තෙල් පිරිපහදු කිරීම යාවත්කාලීන කරන ක්‍රියාවලියක් අවශ්‍යයි. හැබැයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මුවාවෙන් ඛණිජ තෙල් සංස්ථාව සතුව තියෙන මේ වෙළඳපොළ විනාස කරනන් හදන්නෙ. ඛණිජ තෙල් සංස්ථාවේ මල බෙරය තමයි මේ වයන්න හදන්නේ. මේ BOT ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සෙ මොකක් හරි ඉතුරුවෙලා තියෙනවනම් ඒ අයිතිය වෘත්තීය සමිතිවලට කම්කරුවන්ට නැතිවෙනවා. දේශප්‍රේමය සළුපිලි පොරවාගෙන ඉන්න මේ පාලකයන්ට මේ විනාශය කරන්න දෙන්න එපා. රටේ අස්සක් මුල්ලක් නෑර හැම සම්පතක්ම විනාශ කරන තැනකට මේ ආණ්ඩුව ඇවිත් තියෙනවා. “