පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඡන්දය එ.ජා.ප. ජයගනී! රාජපක්ෂවාදීන් වර්ජනය කරයි!

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස අවශ්‍ය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයන් පත්කිරීම අද (23) පාර්ලිමේන්තුවේදී සිදු කරන ලදී.
එම කාර්ය සදහා පෙරවරුවේ කථානායක විසින් කැදවන ලද පක්ෂ නායක රැස්වීම එකගතාවෙන් තොරව අවසන් වූ නිසා ස්ථාවර නියෝග 136, 143 ප්‍රකාරව තමන්ට හිමි බලතල යටතේ කථානායකවරයා විසින් එම කමිටුව නම් කරමින් යෝජනා කරන ලදී. එසේ යෝජනා කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලි චම්පික රණවක, මනෝ ගනේෂන් , රිෂාඩ් බදුයුදීන් සහ රාවුෆ් හකීම් එම මන්ත්‍රීවරුද එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන, එස් බී දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ යන මන්ත්‍රිවරුන්ය. එසේම දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මාවෛයි සේනාධිරාජා සහ ජනතා විමුක්තිපෙරමුණ වෙනුවෙන් විජිත හේරත් යන මන්ත්‍රිවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත් කරගන්නා බවට යෝජනා කෙරිණි. එහිදී දිනේශ් ගුණවර්ධන විසින් ආණ්ඩුව පිහිටුවා ඇත්තේ තමන් නිසා බහුතර නියෝජනය තමන් වෙත ලැබිය යුතු බවට ප්‍රකාශ කරන ලදී. එසේම කථානායකවරයා එ.ජා.ප.යට වාසිදායක ලෙස කටයුතු කරන නිසා තමන් පාර්ලිමේන්තුවෙන් පිටවන බව විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළ පසුව රාජපක්ෂවාදී මන්ත්‍රිවරු සභා ගැබෙන් පිටතට ගියහ. කෙසේ වෙතත් නමින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අවස්ථාවේ එම යෝජනාවට ඡන්දය දීමට මන්ත්‍රිවරු කැදවන සීනුව නාද කරන ලද අතර යෝජනාව ඡන්ද 121කින් සම්මත වූ බව කථානායක ප්‍රකාශ කළේය.

Chandana Sirimalwatte :