தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
පාලක ගැටුම්, පිටුදකිමු, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඕනෑ - ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාලක ගැටුම්, පිටුදකිමු, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඕනෑ – ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය



රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව බිද දමා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දීමෙන් පසුව රාජ්‍ය මාධ්‍ය ආයතනවල සිදුවන පළිගැනීමේ ක්‍රියාදාමය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සම්බන්ධව විරෝධය පළ කිරීමට මාධ්‍ය සංවිධාන කිහිපයක් එක්ව අද (29) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

නාරාහේන්පිට, ශ්‍රි ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ පැවති එම මාධ්‍ය සාකච්ඡාවේදී ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය‘ වෙනුවෙන් අදහස් දැක්වූ මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත පළ කළ අදහස් පහත පළ වේ.

“ආදරණීය මාධ්‍යවේදී හිතවතුනි,
අපි දන්නවා මේ වනවිට රාජ්‍ය මාධය ආයතනවල සිදුවෙමින් තිබෙන තත්වය ගැන. ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය‘ හැටියට ඒ සම්බන්ධව අපි දැඩි ලෙස විරෝධය පළ කරනවා.
ඉතිහාසයේ සිට මැතිවරණයක් අවසන්වුණාම ලංගම, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වගේ තැන්වල මෙවැනි දේශපාලන
පළිගැනීම් සිදු වුණා. මාධ්‍යවේදින්ට හිරිහැර සිදුවුණා. කලින් ආණ්ඩුවෙන් පත්කළ සේවකයන්ගෙන් පළිගැනීම් කළා.
2015 දි මහින්ද රාජපක්ෂ පාලනය කෘරයි, ප්‍රජාතන්ත්‍රවිරෝධී සහ මර්දනකාරී සහ දූෂිතයි කියලා ජනතා ඡන්දයෙන් හවුල් ආණ්ඩුවක්
පිහිටුවා ගත්තා. එදා ඡන්දය දුන් ජනතාව සහ බොහෝ බලවේග මේ හවුල් ආණ්ඩුවට සහයෝගය දුන්නෙ වඩා ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් උදා කරගන්න. රාජපක්ෂ පාලනය සමයේ අපි මාධ්‍ය සංවිධාන ගණනාවක් එකතු වෙලා විරෝධය පළ කළේ දීර්ඝ කාලයක් අරගල කළේ
මාධ්‍යවේදින් ගණනාවක් ඝාතනය කිරීම, පැහැරගැනීම, අතුරුදන්කිරීම, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම වගේ තත්වයක් යටතේ ඒ තත්වය වෙනසක් කරන්න, වඩා ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඇතිකරන්න අවශ්‍ය වූ නිසා. එදා අදහස් ප්‍රකාශනයේ නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිය වගේ සටන්පාඨ ලාබෙට කොල්ලකාලා තමයි පහුගිය ආණ්ඩුව බලයට පත්වුණේ. නමුත් ඒ හවුල් පාලනය මහින්ද රාජපක්ෂ පාලනයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී කියලා පිළිගන්න අපට බෑ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලා ආව පාලනය විරුද්ධ මත ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළේ නෑ. වෙනස් අදහස්වලට අවස්ථාව දුන්නෙත් නෑ. රාජ්‍ය මාධ්‍ය ආයතනවල සහෝදර සහෝදරියන් පළිගැනීමට ලක්වෙලා ඉන්න මේ අවස්ථාවෙදිත් අපි කියන්න ඕන, ඒ රාජ්‍ය මාධය ආයතන පාලනය කෙරුණේ ආණ්ඩුවෙ මතය ප්‍රකාශ කරන්න පමණයි. වෙනත් දේශපාලන ධාරාවල විකල්ප අදහස් ප්‍රකාශ කරන්න ඉඩක් තිබුණෙ නෑ.
ඒ තත්වය තිබියදීත් රාජ්‍ය මාධ්‍ය ආයතනවලත් පෞද්ගලික මාධ්‍ය ආයතනවලත් සහෝදර මාධ්‍යවේදින් උත්සාහ කළා ශ්‍රමය හා
නිර්මාණශිලිත්වය භාවිතා කරන්න, යම් ක්‍රියාකාරකම්වල යෙදෙන්න. එහෙම වුණත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කියලා බලයට ආව ආණ්ඩුව,
මාධ්‍යවේදින් ඝාතනය කිරීම්, මාධ්‍යවේදින්ට වගේම මාධ්‍ය ආයතනවලට කළ හිරිහැර ගැන ප්‍රමාණවත් මැදිහත්වීමක් කළේ නෑ. පරික්ෂන අයාලේ ගියා. වංචා දූෂණ සම්බන්ධ සටන්පාඨ හෝද හෝද මඩේ දැම්මා. නීතිය ක්‍රියාත්මක කිරීම කාර්යක්ෂම ලෙස ඉටු කළේ නෑ. ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම වැනි පරික්ෂණ සිදුවන ආකාරය ගැන අපට පිළිගන්න බෑ. ඉතාම පැහැදිලි සාක්ෂ්‍ය තියෙද්දි යුක්තිය ඉටු කිරීම කාර්යක්ෂම ලෙස ඉටු කළේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තිබුණු විශ්වාසය අහිමි වුණා.
එවැනි පරිසරයකදි තමයි යම් කුමන්ත්‍රණකාරි ලෙස ලබාගෙන තියෙන්නෙ. පාලක පන්තිය මේ විධියෙ සෙල්ලම්වලින් දේශපාලන
බලය එකිනෙකා අතර මාරු කරගන්නවා. මැතිවරණවලදිත්, ගනුදෙනු හරහාත් මේ වගේ ව්‍යවස්ථාමය උගුල්වලිනුත් මාරුකරගන්නවා. ඒ නිසා එවැනි තත්වයක් තුළ ජනමාධ්‍ය නිදහස කියන ප්‍රශ්නය අපට ඇවිත් තිබෙනවා. මාධ්‍යවේදින්ට මාධ්‍ය ආයතනවලට දේශපාලන බලපෑම් සහ හිරිහැර කිරීම අපි ජනමාධ්‍යවේදින් විධියට අපි කිසිසේත්ම පිළිගන්නෙ නෑ. මොකද, අපි එවැනි හිරිහැර විදලා යම් වෙනසක් අපේක්ෂාවෙන් තමයි, රාජපක්ෂ පාලනය සමයේ ජනමාධ්‍ය සංවිධාන හැටියට විශාල අරගලයක් ගෙන ගියේ. නමුත් රනිල්-මෛත්‍රි හවුල ඒ අරගලයත් සටන්පාඨත් පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය පාලනයක් බිහිකරගත්තා.
නමුත් දැන් අවසානයේ නැවත බලමාරුවකට උත්සාහයක් ගන්නවා. අපි දන්නෙ නෑ මේක කොතැනින් කෙළවර වෙයිද කියලා.
කොහොම වුණත් රාජ්‍ය මාධ්‍ය ආයතනවල සිදුවීම් අපට පිළිගන්න බෑ. තමන්ට අවශ්‍ය පුද්ගලයන් යොදවලා මාධ්‍ය වේදින්ට හිරිහැර කරලා
අනෙක් අයගෙ මත නොතකා ක්‍රියාකිරීමක් සිදුවෙනවා. අපි දන්නවා දැන් ඒකපාර්ශ්විකව අදහස් ප්‍රකාශනයට තමන්ගෙ පුද්ගලයන් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින් හැටියට. මේ තත්වය තුළ කෙටිකාලිනවත් දීර්ඝකාලීනවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ විශාල ගැටලුවක් තිබෙනවා. මේ සිදුවෙමින් තිබෙන දේවල් තුළ මේ රටේ සාමාන්‍ය ජනතාව, මාධ්‍ය භාවිතා කරන, ජනමාධ්‍යවේදින්ගෙ සේවය ලබා ගන්නා ජනතාව වෙත තමයි මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න වෙන්නෙ. පාලකයන් ජනතා ඡන්දය කොල්ල කාලා බලය පිහිටුවා ගන්නවා. එහෙමත් නැත්නම් මේ වගේ ව්‍යවස්ථාවෙ සිදුරු ඔස්සෙ තමන්ගෙ බලය ස්ථාපිත කරගන්නවා.
ජනතාවට හෝ ජනමාධ්‍යවේදින්ට අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් සිදුවෙන්නෙ නෑ. මේ තත්වයට විරුද්ධව දැනුවත් වෙන්න, පාලකයන්ගෙ
උගුල් වලට හසුවෙන්න එපා, සිදුවෙමින් තිබෙන දේ ගැන පරික්ෂාකාරි වෙන්න. ජනමාධ්‍ය යොදාගෙන ජනතාව මුලා කිරීම් සිදුවෙමින්
තිබෙනවා.
හාස්‍යජනකම දේ තමයි, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බලයට පත් වෙලා ජනතාවගේ අයිතිවාසිකම් ස්ථාපිත නොකරපු කණ්ඩායම් දැන්
ජනතාවගෙන් ඉල්ලනවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වීදි බහින්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකළ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා
නොකළ පාලකයන්ට දැන් පාරාවළල්ලක් ලෙස මේ තත්වයට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලබා ගත්තා
කියන බලය සම්බන්ධව ජනතා විශ්වාසය දිනාගන්න ඔවුන් අසමත් වූ නිසා මේ තත්වය ඇතිව තිබෙනවා. දැන් ජනතාවට කියලා වැඩක් නෑ වීදි බහින්න, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්න කියලා. මොකද ජනතාව පහුගිය අවුරුදු තුනකට වැඩි කාලයක් වැටුප් වැඩිකරගන්න, සේවක අයිතිවාසිකම් රැක ගන්න, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුටවෙ න් වීදි බැස සටන් කළා. ඔවුන්ට ලැබුණෙ බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර සහ කදුලු ගෑස් ප්‍රහාර පමණයි. ඒ නිසා, ජනමාධ්‍යවේදින් විදියට, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය හැටියට මේ වෙලාවෙ අපි ඉල්ලන්නෙ, විමසිලිමත් වෙන්න, පාලකයන්ගෙ උගුල්වලට හසු නොවී, වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිකරගැනීම සදහා ජනතාවගේ පෙළගැස්මක් අවශ්‍යයි. දේශපාලන උගුල්වලට හසු නොවී, කටයුතු කරන්න.
මැතිවරණවලදී සිදුවන ආකාරයේ මිනිස් ඝාතන සිදුවෙමින් තිබෙනවා. ඊයෙ අපි දැක්කා, තෙල් සංස්ථා සේවකයෙක් මරණයට පත් වුණා.මේ ආකායට මිනිසුන් මරාගෙන දේශපාලන බලය ස්ථාපිත කරගන්න එක් එක් පාර්ශ්ව උත්සාහ කරනවා. ඒ සදහා අවකාශ නොදී ප්‍රචණ්ඩ ලෙස බලය ස්ථාපිත කරගන්න පාලකයන් ගෙන යන ක්‍රියාවලිය වටහාගෙන කටයුතු කරන්න කියන ඉල්ලීම් අපි කරනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට, වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත්, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි, දෙමළ මාධ්‍ය සංසදයේ අධ්‍යක්ෂ නික්සන්, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිකයෝ කැදවුම්කරු සම්පත් සමරකෝන්  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් විධායක සභික විරංජන හේරත් යන මාධ්‍ය ක්‍රියාකාරීහු සහභාගි වූහ.