Posted on 09.20.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගියදා සිදුකළ ප්‍රකාශය අගරදගුරු මැල්කම් රංජිත් හිමි සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා විසින් හෙළාදැක තිබේ.
අගරදගුරුවරයා ඛේදවාචකය සිදුවුණු පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාවක් ප්‍රසිද්ධ දේවස්ථානයක පවත්වා නැති බැවින් උන්වහන්සේ එදින උදෑසන දිව්‍ය පූජාවක් පවත්වා නැත්තේ සිදුවන්ට යන අනතුර පිළිබදව කළින් දැනුවත් වී සිටි නිසායැයි අනුමාන කරමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොමිසම හමුවේ ප්‍රකාශයක් සිදුකර තිබුණු වාර්තා විය.
එම ප්‍රකාශය අගරදගුරුතුමන් වෙත එල්ල කළ අසත්‍යය මෙන්ම අසාධාරණ චෝදනාවක් බව කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි සිරිත් පරිදි පාස්කු රාත්‍රී මෙහෙය අප්‍රේල් මස 20 වන සෙනසුරාදා කොළඹ කොටහේන ලුසියා දෙව්මැදුරේදී සිදුකළ අතර එය පාන්දර දෙක පමණ වන තුරු පවත්වා ඇති අතර අප්‍රේල් 21 වන ඉරුදින ද අගරදගුරු නිවසේදී දිව්යපූජාවක් පවත්වා ඇති බව කොළඹ අගරදගුරු පදවිය පෙන්වා දෙයි.
එබැවින් තමන්ව සාධාරණීකරණය කරගැනීම සඳහා කාදිනල් හිමි ඊට සම්බන්ධ කරගනිමින් මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය බවත් කාදිනල් හිමිපාණන් හෝ රදගුරුතුමන්ලා හෝ කිසිදු කතෝලික පියතුමෙකු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව කිසි ලෙසකින්වත් පෙරදැනුවත් වී නොසිටි බව කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
වත්මන් ජනාධිපති කොමිසම කැපවී ක්‍රියාකරමින් සිටින බවත් මෙම දරුණු අපරාධය සිදුකළ කුරිරු ත්රස්තවාදීන්ටත් ඔවුන්ට එසේ ක්‍රියාත්මකවීමට සිය වගකීම් ඉතා බරපතළ ලෙස පැහැර හරිමින් මග සැලසු සිද්ධිය සිදුවන විට බලයේ සිටි දේශපාලන නායකයින්ට ද රාජ්‍ය පරිපාලන සේවයේ සහ බුද්ධි අංශවල සේවය කළ නිලධාරීන්ට ද විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් ක්‍රියාකරනු ඇතැයි විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.