Posted on 06.22.2022 by Chandana Sirimalwatte in ප්රධාන පුවත with 0 Comments
ගෝඨාභය-රනිල් ආණ්ඩුව පරාජය කර ජනතා ජයග්රහණ වෙනුවෙන් ගෙන යන අරගලයේදී ඉදිරි පෙළ ක්රියාකරුවන් ලෙස පොලිස් මර්දනයට ඉලක්ක කෙරුණු අරගලකරුවන් 7 දෙනකු අද මහෙස්ත්රාත් විසින් ජූලි 1 තෙක් රක්ෂිත බන්ධනාගාරයට නියමකර ඇත.
පොලිසිය විසින් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගන්නට නියමිත බවට අරගලයේ ප්රමුඛ ක්රියාකාරින් 9 දෙනකුගේ නම් ප්රකාශයට පත්කර තිබිණි. එනම්, වසන්ත මුදලිගේ, එරංග ගුණසේකර, ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න, ධම්මික මුණසිංහ, ජෙහාන් ශ්රිකාන්ත, ජගත් මනුවර්ණ, රත්කරව්වේ ජිනරතන හිමි සහ සුධම්ම හිමි වේ.
කෙසේවෙතත්, අද දින එම අරගලකරුවන් අතුරින් 7 දෙනකු මරදාන පොලිසිය වෙත පැමිණ අධිකරණය වෙත ඉදිරිපත්වීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර පොලිසිය විසින් ඔවුන් මහෙස්ත්රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමේදී ඔවුන් ජූලි 1 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමකර ඇත.
මෙහිදී පොලිසිය විසින් ප්රසිද්ධියට පත් කළ නම් අතුරින් ගල්වැව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ පොලීසියට භාරනොවු බවද පොලීසිය මහෙස්ටත්රාත් වෙත කරුණු ඉදිරිපත් කළේය.
මෙම විරෝධතාකරුවන් විසින් පොලිස් මූලස්ථානය ඉදිරිපස විරෝධතාවකදී පොලිස් මාර්ග බාධක පෙරළීමෙන් රු. 60,000ක අලාභයක් සිදුකර ඇති බවට මූලික වශයෙන් චෝදනා ඉදිරිපත් කරනු ලැබිණි. නමුත් අද දින විරෝධතාකරුවන් 7 දෙනකු මහෙස්ත්රාත් හමුවට ගෙනැවිත් පොලිසිය පවසා ඇත්තේ රුපියල් 179,000 ක අලාභයක් සිදුකර ඇති බවයි.
මේ අනුව පොලිසිය දෙවන වරට චෝදනා ගොනු කිරීමේදී අලාභයේ වටිනාකම ඉහළ නංවා ඇත්තේ පොදු දේපළ පනතට අනුව, විරෝධතාකරුවන් ඇප ලබා නොදෙන ආකාරයෙන් බන්ධනාගාරයට කොටුකර තැබීමේ චේතනාවෙන් බව පැහැදිලි වේ.