පොලිස්පති දුන් ස්ථාන මාරුව පොලිස් කොමිසම අවලංගු කරයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර තිබේ.

මහාචාර්ය සිරි හෙට්ටිගේ වැඩ බලන සභාපතිත්වයෙන් ඊයේ (14) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීරණය ගත්තේ නෙවිල් ද සිල්වා විසින් කරන ලද අභියාචනයක් සැලකිල්ලට ගනිමිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් නීත්‍යනුකූල නොවන ක්‍රියාවක් සිදු කරන්නැයි පොලිස් ප්‍රධානීන් දෙදෙනකු ලබා දුන් නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකළ නිසා තමාට මෙම ස්ථාන මාරුව ලබා දී ඇතැයි කියමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම අභියාචනය සිදු කර තිබිණි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.

ඒ අනුව ඔහු පොලිස් මූලස්ථානයට අනියුක්ත කරමින් සහ පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී එච් ජානක කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස පත් කරමින් ලබා දුන් නියෝගය අත්හිටුවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කළේය.

Sithara Sajeewani :