Posted on 11.20.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පරිසර සංවේදී කලාපයක්වන මුතුරාජවෙල වගුරු බිමෙහි පර්චස් හැට පන් දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 බැගින් මිලදීගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා ) අවධානය යොමුවී ඇත.
ගම්පහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයට මුදල් ගෙවා මෙම මිලදීගැනීම කර ඇති අතර ඒ සඳහා උදව් කර ඇතැයි පැවසෙන එම දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් මෙතෙක් කර නොමැති බවද මෙහිදී හෙළිව ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා ඇතත් ඔවුන් පැමිණීම මග හැර ඇත.
.
මේ අතර පරිසර සංවේදී මුතුරාජවෙල භූමියට කිසිවකුට හෝ අනවසරයෙන් ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවටත් එහි කිසිදු ගොඩ කිරීමක් නොකිරීමට වගබලා ගත යුතු බවටත් කමිටුව පරිසර අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලට උපදෙස්දී ඇත.
මේ අතර මුතුරාජවෙල අභයභූමියේ අනවසරෙන් කැණීම් කරමින් සිටියදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ යන්ත්‍රය වෙනුවට වෙනත් බැකෝ යන්ත්‍රයක් පොලිසියට ඉදිරිපත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමුවී ඇත.
හෙක්ටයාර් 6232ක භූමි භාගයකින් යුතු මුතුරාජවෙල වගුරු බිමෙහි හෙක්ටයාර් 3068ක් තෙත් බිම් ප්‍රදේශයක් ලෙස සඳහන් වේ.
එසේ තෙත් බිම් ප්‍රදේශයක් ලෙස සඳහන්වී තිබියදී 2016.9.9 නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් එම ප්‍රදේශයෙන් කොටසක් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
නමුත් මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙන අතර ඒ පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා කමිටුවක්ද පත්කර තිබේ.