Posted on 09.21.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් ධර්ම විරෝධී මිථ්‍යා මත පැතිරවීමට අධර්මවාදී ගිහියන් හා සිවුරු පොරවා ගත් පුද්ගලයන් කටයුතු කරමින් සිටින බැවින් ඒවා වැළැක්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙස මල්වතු පාර්ශවයේ සහ අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
නායක හිමිවරුන් පවසන පරිදි ජනාධිපතිවරයා වෙත යවන ලද එම ලිපියේ සඳහන් වන්නේ ආගම දූෂිත කරන පිරිසක් සිටින බවද එසේ ආගම කිලිටි කිරීමෙන් ආගමික සංස්ථාවට ඇති ගෞරවය ජනයා වෙතින් ගිලිහී යන බවකි. මොවුන්ගේ ධර්මවිනයට පටහැනි දේශනා හේතුවෙන් ඇතැම් බෞද්ධයන්ගේ සිත්සතන් දූෂිතව, තෙරුවන් පිළිබඳ සැදැහැව හීන වන බවක් නායක හිිවරු එහිදී සදහන් කරති. මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් බුද්ධශාසනය ආරක්ෂා කිරීම සඳහා පැවරුණ වගකීම අනුව ධර්ම විරෝධී විවිධ මිත්‍යා මතවාද පතුරුවන පුද්ගලයන් රාජ්‍ය ආයතනවල දේශනා පැවැත්වීම හා ඒ සම්බන්ධ කටයුතුවල යෙදීම වළක්වන ලෙස ජනාධිපති සහ අගමැති ඇතුලු රජයෙන් ඉල්ලා සිටින බව නායක හිමිවරු ලිපියේ සදහන් කර ඇත.
ආගමික ඉගැන්වීම් වසර දහස් ගණනක් කල්යාමේදී විවිධ වෙනස්කම් හා විකෘති කිරීම්වලට ලක්ව ඇති බව ආගම් පිළිබද අධ්‍යයනයන්හිදී හෙළි වන කාරණයකි. මේ වනවිට විවිධ ආගමික මතවලට වඩා හානිකර තත්වයක් උද්ගතව ඇත්තේ ආගමික පුජකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් විසින් පසුගිය කාලය පුරාම මෙන්ම අදවන විට ද විවිධ ජාතිවාදී සංවිධාන ඇතිකර ගනිමින් පටු බෙදීම් සදහා ජනයා පෙළඹවීමය. මල්වතු පාර්ශවයේ හා අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරු හෝ වෙනත් අගාමික නායකයන් විසින් මෙම ඊනියා පූජක පිරිස් විසින් සිදුකරන බලහත්කාරී ක්‍රියාවලට විරුද්ධ අදහස් පළ කර නැති අතර ඒවා සදහා අනුග්‍රහ දක්වන බවක්ද ඇතැම් අවස්ථාවල දක්නට ඇත.
විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ බිහි වූ ඇතැම් කල්ලි කණ්ඩායම්වලට දේශපාලන අනුග්‍රහකත්වය ලැබූ බව රහසක් නොවේ. එවැනි අවස්ථාවලදීවත් ජනසමාජයේ පැවැත්ම හා සියලු මිනිසුන් සමානයන් ලෙස ඉපදී ඇති බවට වන ආගමික මත ඉදිරියට ගෙනාමට ආගමික නායකත්වයෙන් ධෛර්යයක් ලබා දී නැත ඒ වෙනුවට ආගමික ස්ථානවලට පඩුරු පාක්කුඩම් රැගෙන එන බලලෝභී දේශපාලකයන් මෙන්ම අන්තවාදින් එක ලෙසආශිර්වාද ලබන තත්වයක් තිබිණි. මේ අතරම ආගම හා ජාතිය වෙනුවෙන් පෙනී සිටින බව කියන ඇතැම් භික්ෂූන් විවිධ හිංසා ක්‍රියාවල නිරත වෙන බවට ජනතාවගෙන් චෝදනා එල්ල විය. බුද්ධාගමේ මූලික සංකල්ප වන මෛත්‍රිය, කරුණාව පිලිබඳ කිසිදු තැකීමකින් තොරව විවිධ ජනකොටස් කෙරෙහි වෛරය පතුරවමින්, මැරයන් ලෙස හැසිරෙමින් බුද්ධාගම රකින්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්ව තිබුණි. නමුත් ඒ මොහොතේ මහා නායක හිමිවරු ඒ පිළිබඳ කිසිදු අවධානයක්ද නොදැක්ක්නවූවා සේම ආණ්ටඩවෙන් කරන මේ ඉල්ලීම තුළද එවැනි මූලික ගැටලු අවධානයට ලක්කර නොතිබීම විශේෂත්වයකි. දැන් පවතින්නේ යම් මතයක් හෝ ඉගැන්වීමක් ආරක්ෂා වන්නේ රාජ්‍ය මැදිහත්වීමෙන්ද නැතිනම් ඒ ඉගැන්වීම් ප්‍රතිපත්තිමය වශයෙන් ආරක්ෂා වන තත්වයක් යටතේදැයි ප්‍රශ්න කරන තත්වයකි.