මන්නාරම් සමූහ මිනීවලෙන් හමුවූ සිරුරු 312න් 26ක් ළමුන්ගේ බව හෙළි වෙයි!

දින 139ක කාලයක් මන්නාරම සමූහ මිනිවළ කැණීමෙන් හමුවුමිනිස් අස්ථි කොටස් 312කට අදාළ අස්ථි හඳුනාගෙන ඇති බවත් ඒ අතරින් මතුවු ළමා අස්ථි කොටස් ප්‍රමාණය අනුව මෙම සමූහ මිනිවලේ ළමා සිරුරු 26ක් ‍හදුනාගැනීමට හැකිවී ඇති බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ පවසයි.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ, මන්නාරම පොලිස් නිලධාරීන්, මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වයි. අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. සාම්ප්‍රදායික සුසානභූමියක අස්ථි තැන්පත් කොට තිබෙන ආකාරයෙන් ඔබ්බට වන ආකාරයට ඇතැම් අස්ථි හමුවී ඇති බවද හෙතෙම පැවසුවේය.

සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් 06ක් ජනවාරි 23 වැනිදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන් අතර අදාළ පරීක්ෂණ වාර්තාව තවත් සතියක පමණ කාලයකින් ලැබීමට නියමිත බවද විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කරයි.

 

Chandana Sirimalwatte :