මන්නාරම සමූහ මිනීවල පිළිබඳව කාබන් නිර්ණ වාර්තාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ලබාදෙනතුරු එම සමූහ මිනිවල සම්බන්ධ ප්‍රකාශයක් කිරීමට අධිකරණයට හැකියාවක් නැති බව මන්නාරම මහෙස්ත්‍රාත් ටී සරවනරාජා පවසයි.
ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය වෙත යැවූ සාම්පල කිහිපයක් සම්බන්ධයෙන් කාල නිර්ණ වාර්තාව ඊමේල් මගින් අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ වෙත ලැබී තිබෙන බැවින් එය පසුගිය 20 වැනිදා ඔහු විසින් මහෙස්ත්‍රාත්වරයාට ලබා දෙන ලදී.
මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ඒ බව ප්‍රකාශ කළේ අතුරුදන්වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මෝසමක් මගින් අද දහවල් නඩුව කැඳවු අවස්ථාවේදීය.
අධිකරණ වෛද්‍යවරයා 20 දින මහෙස්ත්‍රාත්වරයාට ලබා දුන් කාබන් කාල නිර්ණය වාර්තාවේ පිටපතක් මුදාහරින ලෙස අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටියහ.
එම වාර්තාව නිල වශයෙන් අදාල ආයතනයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයට එවා නැති නිසා අධිකරණ වෛද්‍ය වරයා දුන් පිටපත ප්‍රකාශයට පත් කළ නොහැකි බවත් නිල පිටපත ලැබුණු පසු එය ප්‍රකාශයට පත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශ කරන ලදී.