වසර නවයකට පෙර ආරක්ෂක හමුදාවන්ට භාරවීමෙන් පසු අතුරුදහන් වූ සිය ගණනක් දෙමළ ජාතිකයන්ට අත් වූ ඉරණම ගැන ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් පිළිබඳ වගකීම් භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයකුගෙන් ප්‍රශ්න කිරීමේ වැදගත්කම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් මතුකර තිබේ.
ආරක්ෂක අංශවලට භාර වීමෙන් පසු දින තුනක කාලයක් ඇතුළත අතුරුදහන් වූ ළමුන් ඇතුළු 500 දෙනකුට නොඅඩු පිරිසක් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයන වාර්තාවක් එළි දක්වමින් සත්‍යය හා යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ මානව හිමිකම් දත්ත විශ්ලේෂණ කණ්ඩායම (HRDAG) පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යාවන් මගින් රට තුළ එක් ස්ථානයක දී එකවර අතුරුදහන් වූ විශාලතම පිරිස ගැන අනාවරණය කරන බව ය.
2009 මැයි 17 වැනිදා සිට 19 වැනිදා දක්වා වූ තුන් දින තුළ ආරක්ෂක හමුදාවන් හමුවේ සිදුවූ යටත්වීම් අධීක්ෂණය කර ඇත්තේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසිණි. ඔහු මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් අධ්‍යක්ෂ මඩුල්ලේ ප්‍රධානියා වශයෙන් ක්‍රියා කරයි.
යුද්ධයේ අවසාන දින තුන තුළ අවම වශයෙන් දරුවන් 29 දෙනකු ද ඇතුළුව එල්ටීටීඊ සටන්කරුවන්ගේ පවුල් මුළුමණින්ම අතුරුදහන්ව ඇති අතර මෙම පිරිස් අතුරුදහන් වූයේ යුද්ධයේ ව්‍යාකූලතා මැද නොව, ශ්‍රී ලංකා හමුදාවන්ගේ සහ රජයේ අඩස්සියට පත්වීමෙන් පසුව බව මෙම වාර්තාව පෙන්වා දෙයි.