தமிழ்
English
Contact
Saturday 26th December 2020    
රජයේ සේවයට අලුතින් එන මවුවරුන්ට 'කිරි දෙන්න ඉඩ දෙන්න' - වෘත්තිය සමිති හඬ නගති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රජයේ සේවයට අලුතින් එන මවුවරුන්ට ‘කිරි දෙන්න ඉඩ දෙන්න’ – වෘත්තිය සමිති හඬ නගති!



ආණ්ඩුව විසින් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩු හරි අඩකින්ම කප්පාදු කිරීම සම්බන්ධ විරෝධය පළ වෙමින් තිබේ.

රාජ්‍ය සේවයට ඇතුළුවන ස්ත්‍රින්ට මව්වරුන් වීමේදී හිම වූ ප්‍රසූත නිවාඩු සති 12ක කාලය වෙනුවට මේ වසරේ බඳවාගන්නා ලද උපාධිධාරිනියන් 38,000ට සති 6ක ප්‍රසූත නිවාඩුවක් තිබෙන බව දැනුම් දී ඇත.
රජයේ කාර්ය මණ්ඩලවල කාන්තාවන්ට හිමිව තිබු දින 84 ප්‍රසුත නිවාඩුව වත්මන් ආණ්ඩුවෙන් දින 42 ක් දක්වා අඩු කිරීමක් සිදුව ඇත.

මේ තත්වය යටතේ වෘත්තිය සමිති ඇතුලු ජනතා සංවිධාන විරෝධතා දක්වමින් මෙම නිවාඩු කප්පාදුව වහා අහෝසිකර මව්වරුන්ට මෙන්ම නූපන් දරුවන්ට හිමි මානව හිමිකම ලබා දෙන ලෙස ඉල්ලා ඇත. මැතිවරණ සමයේදී තමන්ගේ දරුවන් මෙන් අනුන්ගේ දරුවන් ඔසවා ඡන්ද කොල්ලකන පාලකයන් විසින් නුපන් දරුවන්ගේ මානව අයිතිවාසිකම් පවා උල්ලංඝණය කර ඇති බව වෘත්තිය සමිති චෝදනා කරයි.

“කිරි දෙන්න ඉඩ දෙන්න” යන තේමාවෙන් දෙසැම්බර් 24 ‘ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය’ විසින් කොළඹදී පැවැත්වු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් සහ විරෝධතාවක් අවස්ථාවේ වෘත්තිව සමිති නියෝජිතයන් විසින් ආණ්ඩුවේ මෙම කෘෘර තීරණය සම්බන්ධ මාධ්‍ය වෙත අදහස් පළ කර තිබිණි.
වෘත්තිය සමිති, බහු ජන සංවිධාන හා කාන්තා සංවිධානවලද සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවෙන් පසුව, ප්‍රසුත නිවාඩු කප්පාදුවට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීමද සිදු කරණ ලදී.
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මෙසේ ප්‍රකාශ කළේය.
”ආණ්ඩුව විසින් පසුගිය සැප්තැම්බර් 2 දින අභ්‍යාස ලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයට බදවා ගත් පිරිසෙන් බහුතරයක් වන උපාධිධාරිනියන්ගේ ප්‍රසුත නිවාඩුව හරි අඩකින් කප්පාදු කරලා. ඒ පත්වීමේ ලිපියේ හත්වෙනි වගන්තියේ පැහැදිලිව සදහන් වෙනවා දරු ප්‍රසුතියක් සදහා නම් එය සිදු වු දින සිට දරුවාගේ පෝෂණ කටයුතු වෙනුවෙන් සති හයක කාලයක් ලබා දෙනවා කියලා. සති හයක් කියන්නේ දින 42 යි. ඒකත් අඛණ්ඩ දින 42 ක්. සෙනසුරාදා ඉරිදා ඇතුලුව.”
ධම්මික මුණසිංහ එහිදී තව දුරටත් පෙන්වා දුන්නේ අභ්‍යාස ලාභි උපාධිධාරීන් ලෙස 2018 සහ 2019 වසර වල රාජ්‍ය සේවයට එක්වු උපාධිධාරිනියන්ගේ පත්වීම් ලිපි වල පැහැදිලිව දින 84 ක ප්‍රසුත නිවාඩුව හිමිකමක් ලබා දී ඇති බවයි. ඒසේ තිබියදී වත්මන් ආණ්ඩුව විසින් පොරොන්දු දෙමින් හා විශාල ප්‍රචාරයක් ගෙන යමින් ඡන්ද ලබාගැනීමට පවා පාවිච්චි කළ උපාධිධාරි අභ්‍යාසලාභින්ට වෙනම ප්‍රතිපත්තියක් යටතේ වෙනස් කොට සළකා ඇති බව ඔහු කියා සිටියේය.

“කිරි දෙන්න ඉඩ දෙන්න” මාධ්‍ය හමුව සහ ඒකාබද්ධ ප්‍රකාශනයට සම්බන්ධ වීමට පහත දැක්වෙන සංවිධාන එක්ව සිටියහ:

  • රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය
  • කිතුසර සංවිධානය
  • සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය
  • ලංකා ගුරු සංගමය
  • කම්කරු අරගල මධ්‍යස්ථානය
  • ස්වාධීන ලංකා ගුරු සංගමය
  • ලංකා බැංකු සේවක සංගමය
  • නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය
  • ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය
  • ඒකාබද්ධ ගුරු සේවා සංගමය
  • ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
  • එක්සත් කම්කරු සම්මේලනය
  • ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
  • නිමිභාණ්ඩ, ඇගලුම් හා රෙදිපිලි සේවක සංගමය