Posted on 10.28.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සාමාන්‍යයෙන් මැතිවරණයකට පසුව ඇතිවන අන්දමටත් අන්ත ලෙස රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ දේශපාලන පලිගැනීම් සදහා පසුබිමක් සකස් වී ඇති බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ.
සිකුරාදා (26) එ.ජ.නි.ස. හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග රූපවාහිනි සංස්ථාවේ ඇතිවෙමින් තිබුණු තත්වය සහ ඒ හා සමාන්තරව ස්වාධීන රූපවාහිනි ආයතනය, ගැවන්විදුලි සංස්ථාව සහ ලේක්හවුස් ආයතනය තුළ රාජපක්ෂවාදී කණ්ඩායම් පැමිණ ක්‍රියාකාරිත්වය සියතට ගත් බව දැනගන්නට ඇත. මෙම තත්වය නිසා 2015 හවුල් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙම රාජ්‍ය මාධ්‍ය ආයතනවල පාලනයට හා ක්‍රියාකාරිත්වයට යොදවන ලද පිරිස් මහත් අසීරු තත්වයකට පත්ව තිබේ.
සිකුරාදා හිටපු ජනාධිපතිවරයා අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ සිට රාජපක්ෂවාදීන් එහි පැමිණ එහි කටයුතු වලට මැදිහත්වීමට සූදානම්ව තිබේ. ඒ අවස්ථාවේ මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා වූ මංගල සමරවීර ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් රූපවාහිනී සංස්ථාවට අනවශ්‍ය ඇතුළුවීමක් සිදුකිරීමත් සමග රාජපක්ෂවාදීන්ට එහි දේශපාලන බලපෑම් කිරීමට හේතු සපයා ගැනීමට හැකි විය. මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කණ්ඩායමක් තවත් පිරිසක්ද සමඟ ජාතික රූපවාහිනී පරිශ‍්‍රයට පැමිණියහ. රාජපක්ෂ කණ්ඩායම නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුළු පිරිසක් රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයට පැමිණීමත් සමග මෙම් නොසන්සුන්කාරි තත්ත්වය ඇතිවි තිබේ. රූපවාහිනි සංස්ථාවට කඩා වැදුණු රාජපක්ෂ හිකවාදී කණ්ඩායම් මංගල සමරවීර ඇතුළු පිරිසට හූ කියමින් ඔවුන් පළවා හරින ආකාරය වීඩියෝ දර්ශනවලින් සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. අවසානයේ රූපවාහිනී විකාශය රාත්‍රි මුලුල්ලේ අක්‍රියභාවයට පත් කරණ ලද අතර පසුවදා සිට එය රාජපක්ෂ-මෛත්‍රි හවුලේ හොරණෑවක් බවට පත්ව තිබේ. ගැනීමට උත්සාහ ගැණුනු අතර මේවනවිට එම ආයතනවල මාධ්‍ය ක්‍රියාකාරිත්වය රාජපක්ෂ රෙජීමයේ පැවති ආකාරයට වෙනස් වී ඇති බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
ස්වාධීන රූපවාහිනි ආයතනයේ බලය සුධර්මන් රදලියගොඩ වැනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ සිටම පක්ෂග්‍රාහී හොරණෑකරුවන් අතට පත්ව ඇති බව දැනගන්නට ඇත. සිකුරාදා දිනයේ හිටපු ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ කඩාවැදුණු රාජපක්ෂවාලිදන් පිරිසක් එහි මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති අතර ප්‍රවෘත්ති හා කාලීන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුභාෂ් වීරතුංග ජයවර්ධන වටකර පහරදීමට එවැනි කණ්ඩායමක් ගත් උත්සාහය සේවකයන් මැදිහත්වී වලක්වා ඇත. මේ තත්වය තුළ පසුගිය හවුල් ආණ්ඩුව බලයට පැමිණි පසුව සේවයට බදවාගත් පිරිසට රැකියාවට යාමට නොහැකි තර්ජනාත්මක තත්වයක් උද්ගතව තිබෙන නිසා ඔවුන් සේවයෙන් බැහැරව සිටින බවට තොරතුරු ලැබෙමින් පවතී.
ලේක්හවුස් ආයතනයේද කර්තෘ මාණ්ඩලිකයන්ගේ සිට සාමාන්‍ය සේවකයන් දක්වා රාජපක්ෂවාදීන්ගේ බලපෑම්වලට නතුවෙමින් සිටින බවද ඇතැම් ජනමාධ්‍යවේදීන්ට රාජකාරි කරන්නට නොහැකි මට්ටමකට තත්වය උග්‍ර වීඇති බවද ලේක්හවුස් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම තත්වය කොතරම් පහත් මට්ටමකට පත්ව ඇත්දැයි කිවහොත් සිකුරාදා රාත්‍රියේ රාජපක්ෂවාදීන් ලේක්හවුසියට කඩා වැදී පසුවදා පළවන පුවත්පත්වල පිටු නැවත සකස්කිරීමට බලපෑම් කර ඇත. පසුවදා සිට ලේක්හවුස් ආයතනයේ පරිපාලන ක්‍රියාවලියට පිටින් රාජපක්ෂවාදින්ගේ ක්‍රියාකාරිත්වය එහි පාලනය අරා සිටින බව දැනගන්නට ඇත. ගුවන් විදුලි සංස්ථාවේ කටයුතුද රාජපක්ෂ හිතවාදීන්ගේ බලයට නතුව ඇති බව එහි අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.
ජනමාධ්‍ය ආයතන දේශපාලන හොරණෑ ලෙස පවත්වාගෙන යන තත්වය ලංකාවේ ආණ්ඩු සියල්ලම විසින් ගෙන ගිය තත්වයක එ්වා වෘත්තියමය තත්වයට පත්කිරීමේ අවශ්‍යතාවක් හෝ හැකියාවක් පැවති හෝ පවතින ආණ්ඩුවල නායකයන්ගේ සිට හෙංචයියන් දක්වා නොවීය. හවුල් ආණ්ඩුව පත්වීමෙන් පසුව යම් නව පෙනුමක් ගන්නට උත්සාහ ගත්තද නැවත ඒවා ආණ්යඩුවේ හොරණෑ බවට පත්වීම කිසිවකුට වැළැක්විය හැකි නොවීය. ස්වාධීන මාධ්‍යෙව්දින් ලෙස කටයුතු කළ ඇතැමුන් පවා මාධ්‍ය ආයතනවල තනතුරුවලට පත්වීමත් සමග අකර්මණ්‍ය තත්වයට හෝ තමන්ගේ පාඩුවේ යන අතට මැස්ස ගහන තත්වයට පත් විය. මේ වනවිට එහි අනෙක් පැත්තට රාජ්‍ය මාධ්‍ය ආයතන පත්වෙමින් පවතින අතර පෙර පරිදිම මාධ්‍ය ක්‍රියාකාරිකයන් ඒ සම්බන්ධව විරෝධය පළ කරමින් සිටී. එහෙත් රාජ්‍ය වේවා පෞද්ගලික වේවා මාධ්‍ය යහපත් මාවතකට ගැනීමට නම්, සිදුවිය යුත්තේ දේශපාලනය බලය ජනතාවට වගකියන ව්‍යුහමය හා ක්‍රමවිරෝධී වෙනසක් මිස යන අතට මැස්ස ගහන ව්‍යාජ වෙනසක් නොවන බව යළිත් ඔප්පු කර තිබේ.