ලසන්ත ඝාතනය, ප්‍රගීත් අතුරුදන්කිරීම සහ කීත් නොයාර්ට පහරදීම දැන සිටි බව ගෝඨා පවසයි!

මාධ්‍යවේදින් ඝාතනයට පත්කිරීම්, පැහැරගෙනයාම් හා පහරදීම් සම්බන්ධව තොරතුරු තමන් දැන සිටි බව රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ නැවතවරක් පවසයි.

‘ඩේලි මිරර්’ පුවත්පත සමග කළ සංවාදයකදී අදහස් පළ කරමින් ගෝඨාභය පවසන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම හා කීත් නොයර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් වගකිවයුතු දෙදෙනකු පිළිබද දැන සිටි බව සහ ඒ සම්බන්ධ පියවර ගන්නට උනන්දු නොවූයේ යුද්ධය නිසා බවය. ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ ඔහු මෙම තොරතුරු දැන සිටි බව ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය හමුවේ පැවසු දෙවැනි අවස්ථාව මෙය වේ. මින් පෙරද ‘සත්හඩ’ පුවත්පත සමග කළ සාකච්ඡාවකදී ආරක්ෂක අංශ විසින් තම උපදෙස් මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභිකයකු වූ කුමාර් ගුනරත්නම් පැහැර ගන්නට මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව අනාවරණය කළේය. ඉන්පසුව වරින්වර මාධ්‍යවේදින්ට රාජපක්ෂ පාලන සමයේ එල්ල වූ මර්දනය, ඝාතන හා ප්‍රහාර සම්බන්ධ ගෝඨාභය විවිධ අවස්ථාවල අදහස් පළ කරන ලදී. එහිදී ඔහු එම සිදුවීම් සම්බන්ධ චෝදනා වෙනත් අය වෙත එල්ල කර තිබිණි. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එම ප්‍රහාර හා මරා දැමීම් සම්බන්ධ දැන සිටි බවට ඔහු මෙසේ පිළිගත් පළමු අවස්ථාව මෙය වේ.

ඔහු ආරක්ෂක අංශ මෙහෙයවමින් විරුද්ධවාදින් දඩයම් කරන්නට කටයුතු කළ බව ‘සත්හඩ’ පුවත්පතට කළ ප්‍රකාශයෙන් පළමුවරට අනාවරණය විය. ඒ අවස්ථාවේදී ඔහු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් වුවද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැත. ගෝඨාභය රාජපක්ෂ අපරාධකරුවන් සමග කටයුතු කළා මෙන්ම ඔවුන් කවුරුන්ද යන්න අනාවරණය කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ඇති වගකීම පැහැර හරිමින් අපරාධවලට සම්බන්ධවූවන් ආරක්ෂා කළ බවද මෙයින් නැවත වරක් අනාවරණය වේ.

Chandana Sirimalwatte :